Saturday 26 February 2022

ජීවිතේ පළවෙනි වතාවට ගියපු රේල් හයික් එක.



2021 දෙසැම්බර් 26 වැනිදා ගිය සුනාමි සංවත්සර ගමනින් පස්සේ මේ අවුරුද්දේ  පළවෙනියටම පොඩි ගමනක් ගිහින් එන්න පහුගිය පෙබරවාරි 16 වැනිදා අවස්ථාවක් ලැබුණා. වෙනදට ඉතින් මගේ ගමන් සඟයන් වෙන්නේ බොහෝමයක් වෙලාවට රුසිත් හෝ තිසර. හැබැයි මේ වෙලාවේ දී දෙන්නාම තම තමන්ගේ රැකියා කටයුතුවලට හිරවෙලා, කාර්ය බහුල වෙලා හිටපු නිසා ගමනෙන් කොටසක් තනියම තමයි මට යන්න සිද්ධ වුණේ. හැබැයි පාළුව මකන්න ආවේ අඟහරුවා බ්ලොග් අඩවිය නිසා අදුරගන්නට පුළුවන් වෙච්ච සුභාෂ් අයියා. තවත් විදියකට කීවොත් අපේ වාෂ්ප බණ්ඩාර අයියා. ගැන කතාව මේ ලිපියේ මැද හරියේ රසවත්ව ලියලා තියෙනවා.

ඔය විදිහට මෙදා පාර යන්න තෝරගත්තේ මධ්‍ය පළාතේ කටුගස්තොට ආසන්න ප්‍රදේශයේ පිහිටලා තියෙන එතරම් සංචාරක ආකර්ශනයට ලක් නොවිච්ච උඩතලවින්න සහ වත්තේගම කියන ගම්මාන. බොහෝමයක් අවස්ථාවලදී මම යන ගමන් බිමන් බහුතරයකටම මට ප්‍රවාහන පහසුකම් සපයන්නේ ශ්‍රී.ලං.. බස් රථයක් හෝ කෝච්චියක්. තවත් සමහර වෙලාවන්වලට මේ දෙකම. එදා අන්න විදිහට මේ දෙන්නම මට ගමන් පහසුව සපයන්න එකතු වුණා. සැලසුම් කරලා තිබ්බේ නුවරින් උදේ 7 මාතලේ දක්වා යන දුම්රියෙන් උඩතලවින්නට ගිහිල්ලා එතනින් බස් එකේ වත්තේගමට යන්න. නිසා සැළකිය යුතු තරම් උදෑසනින්ම ගෙදරින් පිටත් වෙන්න මට සිද්ධ වුණා. හරියටම කීවොත් මහරගම ගෙදරින් පිටත් වුණේ ඊට කලින් දවසේ, කියන්නේ පෙබරවාරි 15 වැනිදා රෑ 12.45 විතර. ටවුමට ඇවිත් එතනින් ලුණුගල ඉඳන් එන ප්‍රයිවට් බස් එකක් හම්බවුණා පාන්දර 1.20 වගේ. බස් එකේ කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම ගාවට ඇවිත් එතැනින් මධ්‍ය බස්රථ පර්යන්තය (කවුරුත් දන්න ලංගම බස් නැවතුම එහෙමත් නැතිනම් CBS එක) ගාවට යනකම් ඇවිදගෙන ගියා. යද්දී අළුයම 2 ආසන්නයි. මහනුවර දක්වා ගමන් ගන්න සූදානම් වෙච්ච ලංගම බස් රථයක් කට කපලා සෙනඟ පුරෝගෙන හිටියත් ඉක්මණින් යන්න ඕන නිසා ඒකට නැඟගත්තා. (පස්සේ හිතුණා නැග්ග ගොන්කම කියලා)

වෙනදට ඉතින් පාන්දර 2 නුවර බස් එක කියන්නේ හොදට වාඩිවෙලා ඉස්පාසුවක් අරගෙන අතපය දිග ඇරලා යන්න තරම් සෙනඟ අඩු ටර්න් එකක් වුණාට මේ කියන දවසේ නම් ඒකේ අනිත් පැත්ත. කියන්නනේ හොදටෝම සෙනඟ බස් එකේ. කොච්චර සෙනඟ කීවොත් මමතුමාට පිළිමතලාවට යනකම්ම හිටගෙන තමයි යන්න වුණේ. නිසා තමයි උඩහ දී මම කීවේ "පස්සේ හිතුණා නැග්ග ගොන්කම" කියලා. සාමාන්‍යයෙන් පාන්දර 5 විතර වෙද්දී නුවරට එන බස් එක එදා 4.15 ආසන්නව ගමනාන්තයට ළඟා වුණා. අන්න එතනින් පස්සේ තමයි සුපිරි කට්ටක් සෙට් වුණේ ඉතින්. හිතාගන්නවත් බැරි තරම් කලින් නුවරට එන්න පුළුවන් වෙච්ච නිසා බණ්ඩාර උන්නැහේව සම්බන්ධ කරගන්න කිහිප වතාවක්ම උත්සහ කළත් මනුස්සයාගේ පෝන් එක ඕෆ් කියපි. පස්සේ ඉතින් කහට කෝප්පයක් බොන්න හිතාගෙන නුවර ටවුමේ තියෙන කඩ කිහිපයකටම ගියා. එත් පලක් නෑ. හැමතැනම කිරි සහ කෝපි විතරයි. බැරිම තැන මහනුවර ඉඳන් ආපහු පේරාදෙණිය හන්දියට එන්න වුණා. ආවෙත් නුවරින් පාන්දර 4.30 කොළඹ කොටුව කෝච්චියේ. පේරාදෙණිය හන්දිය ස්ටේෂන් එකෙන් බැහැලා බලද්දී තවත් ජංජාලයක්. ලයිට් එළියක් නැති කට්ට කලුවර පාර, මදිවට මිනිස් පුලුටක් නෑ. මොනා කරන්නද ඉතින් කහට කෝප්පයක් බොන්න තියෙන වුවමනාව නිසාම හිත හයිය කරගෙන ඇවිදගෙන ආවා පාර දිගේ. ටික දුරක් එද්දී බල්ලෙක් බුරාගෙන පැනපි. "වහප් කට බල්ලා" කියලා ඌටත් බැනලා මගේ පෝන් එකේ ටෝච් එකත් ගහගෙන දැන් ඉතින් ස්ටේෂන් එක ගාව ඉදන් කිලෝමීටරයක් විතර බඩ ගාගෙන ඇවිත් පේරාදෙණිය ටවුමෙන් උණු උණුවේ කහට කෝප්පයක් බීවා රුපියල් 70කට. සීතලේ උපරිමය නිසාදෝ කහට එකේ රස්නය දැණුනෙත් නැහැ. කහට බීවා වගේ නෙමෙයි ආයෙත් පේරාදෙණිය හන්දිය ස්ටේෂන් එකට යන්න එපෑය කෝච්චිය අල්ලගන්න. මක්ක කොරන්නද ඉතින් පයින් බඩගෑවා ආයෙම පහළට. වෙනසක් නෑ පාර කලින් වගේමයි. හිතේ පොඩි චකිතයකුත් තිබුණා. වාසනාවට එහෙම හොල්මනක්, අවතාරයක් වගේ කිසිම කෙනෙක් දැකගන්න ලැබුණේ නැහැ.


වේලාව අළුයම 5.30යි. පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයේ සිට සීතලේ ගැහෙමින්.

සෙමෆෝ සිග්නල් කණුවල රෑට ලයිට් එකක් පත්තු වෙනවා.  සියල්ල හරි නම් කොළ පාටිනුත්, අනතුරුදායකයි නම් රතු පාටිනුත් විදියට. ඔය පොටෝවේ ඔරලෝසුවට යටින් පේන රතුපාට ලියිට් තුන තමයි පේරාදේණිය සෙමෆෝ කණුවක සංඥාව.

වැඩෙත් ඉවර කරගෙන උදේ 5.30 විතර වෙද්දී ආපහු පේරාදෙණිය හන්දිය ස්ටේෂමට ආවා එතනින් උදේ 6.40 මාතලේ කෝච්චිය අල්ලගන්න බලාගෙන. වෙලාවේ හැටියට වෙන කරන්න දෙයකුත් තිබුණේ නෑනේ ඉතින්. ඔන්න ඔය අතරේ අර පෝන් එක ඕෆ් කරගෙන හිටපු උන්දෑ මට කෝල් කරා. සිද්ධිය කීවම මනුස්සයාටත් හිනා. හරි, කමක් නෑ කියමුකෝ. එදා සාමාන්‍ය විදිහටම මාතලේ කෝච්චිය පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයට ළඟා වුණා. මතක හැටියට M7 වර්ගයේ අංක 802 එන්ජිම තමයි එදා තිබ්බේ.


පේරාදේණියේ දී නාවලපිටිය දුම්රියට ඉඩ දෙන්න ලූප් ලයින් ගත්ත මාතලේ කෝච්චිය.

පොටෝව සුභාෂ් අයියගෙන්.

මගේ ගමන් සඟයා වෙච්ච සුභාෂ් අයියත් ආවේ ඔය කෝච්චියේම තමයි. පේරාදෙණිය හන්දිය ස්ටේෂමේ තිබ්බ ක්රොසිමකට (ඒ කියන්නේ දුම්රිය දෙකක් එකම දුම්රිය ස්ථානයකදී එකිනෙකට හුවමාරු වෙන අවස්ථාව) පස්සේ දුම්රිය ගමන් ආරම්භ කරා. එතනින් මහනුවර දුම්රිය ස්ථානයට උදේ 6.50 ට විතර ළඟා වෙච්ච දුම්රිය විනාඩි 10විතර පොඩි ඉසිඹුවක් අරගෙන උදේ 7 ට මාතලේ දක්වා තමන්ගේ ගමන ආරම්භ කරන්නට යෙදුණා. මම නම් සූදානම් වෙලා හිටියේ උඩතලවින්න හා වත්තේගම ස්ටේෂන් දෙක අවට පොඩ්ඩක් ඇවිදලා ඊළඟ ඩවුන් ටර්න් එකේ මහනුවරට ඇවිත් ගෙදර එන්න. හැබැයි සුභාෂ් අයියගේ බලවත් ඉල්ලීම නිසා ඒ සැළසුම තරමක් වෙනස් කරන්න සිද්ධ වුණා අකමැත්තෙන් වුණත්. අන්තිමට සැලසුමේ විදිහටම උඩතලවින්න දක්වා දුම්රියෙන් ගිහින් එතන ඉදන් වත්තේගමට පොඩි රේල් හයික් එකක් යන්න පිටත් වුණා. ඕක ඉතින් මම ගියපු පළවෙනි රේල් හයික් එක නිසා මට නම් අළුත්ම අත්දැකීමක්.

මහනුවර දී හමුවුණු මෝටර් ට්‍රොලිය. මේක පාවිච්චි කරන්නේ දුම්රිය මාර්ග නිරීක්ෂණ ගමන් වෙනුවෙන්.

පොඩ්ඩක් හෝව් . . . . . . . . .  දෙයක් කියන්න අමතක වුණා.

ඔය මාතලේ මාර්ගයේ තියෙනවා දුම්රිය ස්ථාන හෝ උප දුම්රිය ස්ථාන අතරට අයත් නොවන දුම්රිය නැවතුම්පොළවල් (Train Halts) කිහිපයක්. අපි ඒවට කියන්නේ දුම්රිය වේදිකා (Railway Platforms) කියලා. මේවා මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ යටත් විජිත සමයේ දී වැවිලි ආර්ථිකයේ ප්‍රතිඵලයක් විදිහට කුඩා වතු වේදිකා (State Platforms) විදිහට. මේ තැන්වල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න කිසිම වගකිවයුතු නිලධාරියෙක් නැහැ. ඉතින් ඔය මාතලේ මාර්ගයේ ධාවනය කරන දුම්රිය ගමන්වාර හැම එකක්ම අර කීව කුඩා දුම්රිය වේදිකාවල නවත්වනවා මඟී අවශ්‍යතා වෙනුවෙන්. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති එතකොට ඒ තැන්වලින් දුම්රියට ගොඩවෙන මඟීන්ට ටිකට් කොයින්ද කියලා. ඒකට උත්තරය තමයි ඔය පහළ තියෙන පොටෝව.

මේ ටිකට් එකට ඉස්සර නම් කීවේ රේල් කාර් ටිකට් කියලා. ඒ කියන්නේ 1925-75 කාලයේ දී ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් ක්‍රියාත්මක කරපු රේල් කාර් සේවය වෙනුවෙන් නිකුත් කරපු ටිකට් තමයි ඔය. හැබැයි විවිධ හේතූන් නිසා 1975 න් පස්සේ ඔය රේල් කාර් අහෝසි වෙලා යාමත් එක්ක ඇති වෙන අළුත්ම සංකල්පය තමයි බේබි ට්‍රේන් එහෙමත් නැතිනම් කුඩා දුම්රිය ක්‍රමය. අන්න ඒ දුම්රිය එක් එන්ජිමක් හා මඟී මැදිරි 3ක් හෝ 4ක් එක්ක ධාවනය වෙන කුඩා දුම්රියක් වීම නිසා තමයි මේ බේබි ට්‍රේන් කියන නම පටබැඳිලා තියෙනවා කියන්නේ. කොහොම හරි, අර උඩින් කීව දුම්රිය නැවතුම්පොළවල් (Train Halts) වලින් දුම්රියට ගොඩවෙන මඟීන්ට තමන්ගේ ගමනාන්තයට අදාළව නිසි ප්‍රවේශ පත්‍රයක් අරගන්නට අවස්ථාව ලබාදෙන්න ඔය විදිහට ටිකට් එකක් නිකුත් කරනවා. ඒක කරන්නේ දුම්රිය නියාමවරයා. සාමාන්‍ය ව්‍යවහාරයෙන් කීවොත් ගාඩ් මහත්තයා. බොහෝම ඉස්සර නම් නියාමකවරයා මඟියා ගාවට ඇවිත්ම මේ ටිකට් එක දීලා ගිහින් තියෙනවා. කාලත් එක්ක ඒ ක්‍රමය වෙනස් වෙලා දැන් මඟියාට පුළුවන් අදාළ දුම්රියේ නියාමකවරයා ළඟට ගිහින් නියමිත ගාස්තුව ගෙවලා ප්‍රවේශ පත්‍රය මිලදී ගන්නට. ඔය ගාඩ් ටිකට් හා බේබි ට්‍රේන් ගැන ඉස්සරහ ලිපියකින් දීර්ඝව විස්තරයක් කරන්න බලාපොරොත්තු ඇතිව දැනට ඒ ගැන මෙතනින් නවත්වලා අපේ ගමන පැත්තට ආයෙම හැරෙන්නම්.

මහනුවරින් පිටත්වෙලා එන ගමනේ දී අපිට හමුවෙච්ච පළවෙනි දුම්රිය නැවතුම්පල වුණේ ප්‍රධාන හරස් වීදිය. ඉංග්‍රීසියෙන් කීවොත් Hill Street Level Crossing එක. ඊට පස්සේ මහයියාව උප දුම්රිය ස්ථානය. ඒක නම් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉඳිකරලා තියෙන පෞරාණික ගොඩනැඟිල්ලක් බව දැක්කාම තේරුණා. එතනින් පස්සේ කටුගස්තොට පාර සහ මාවිල්මඩ කියන දුම්රිය නැවතුම්පලවල් පසුකරගෙන මේ ගමනේ අපිට හමුවෙන පළවෙනි ප්‍රධාන දුම්රිය ස්ථානයට ළඟා වුණා. ඒ තමයි කටුගස්තොට. අපේ දුම්රිය ඡායාරූප ශිල්පී ෂෙනාල් මලයා ඉන්නෙත් කටුගස්තොටම තමයි ඕං.


කටුගස්තොට ක්රොසිමට සූදානමින් ලූප් ලයින් එකට.

කටුගස්තොට දී දුම්රිය හුවමාරුවක් තිබ්බ නිසා පොඩ්ඩක් බැහැලා පොටෝ කිහිපයක් ගන්න අවස්ථාව ලැබුණා. ඉතාමත් පිළිවෙළට හා පිරිසිදුවට තියාගෙන ඉන්න වගේම හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයන් ඉන්න දුම්රිය ස්ථානයක් විධියට කටුගස්තොට ස්ටේෂම ගැන අඟය කිරීමක් නොකරම බැහැ. මීට කාලෙකට කලින් එතනදී මට හමුවුණා පුරාවස්තුවක් වගේ ටිකට් දෙකක්. ඒ ගැනත් මෙතනදීම පොඩි සටහනක් කළොත් හොදයි කියලා හිතුණා. ඔය පහලින් තියෙන්නේ ඒ ටිකට් දෙක.

අපේ රටේ සමහර දුම්රිය ස්ථානවල නම කාලයෙන් කාලයට විවිධ ආකාරයට වෙස් වෙලා තියෙනවා. ඒකට භාෂාමය කරුණු වගේම සමහර අවස්ථාවලදී සමාජීය කරුණුත් හේතුවෙලා තියෙනවා. ඔය ටිකට් දෙක ඒකට කදිම ලිඛිත සාක්ෂියක්. හොදට බලන්න රොසැල්ල ට නිකුත් කරපු ටිකට් එකේ සිංහලෙන් තියෙන නම බින්ඔය. ඒ වගේම හැටන් දක්වා නිකුත් කරපු ටිකට් එකේ පරණ නම සිංහලෙන් තියෙන්නේ හැටොන් වත්ත කියලා. කොතරම් අපූරු සිදුවීමක් වුණාද ඒක ඉතින් මට.

දුම්රිය හුවමාරුව අවසන් වුණාට පස්සේ අපේ දුම්රියට ඉස්සරහට යන්න සංඥාව ලැබුණා. අපිත් දුම්රිය ස්ථානාධිපතිතුමන්ට ස්තුති කරලා සුභ පතන ගමන්ම නැවත පිටත් වුණා. ඊළඟ නැවතුම වෙච්ච පල්ලෙතලවින්න උප දුම්රිය ස්ථාන පහුකරගෙන ඇවිත් අපේ පළවෙනි ගමනාන්තය වෙච්ච උඩතලවින්න දුම්රිය ස්ථානයට ළඟා වුණා. එතනදී හමුවුණා තවත් වටිනා පුරාවස්තුවක්. ඇත්තටම ඒක මම දැක්කෙත් නෑ. මම දැනගෙන හිටියෙත් නෑ. ඒක මට පෙන්නුවේ අපේ සුභාෂ් අයියා. ඒ විතරක් නෙමෙයි, ඒක ගැන හොද විස්තරයකුත් කරලා දුන්නා මට. ඒ වෙනුවෙන් එයාට අනේක වාරයක් පිං. ඔයාලා වෙනුවෙන් ඒ ගැන මම මෙතදී කියන්නම්.


ඔය මැද තියෙන සිදුරට තමයි ලීවරය දාලා කරකවන්නේ.


ඔය තියෙන විවරය ගාවින් තමයි ලාම්පුව රඳවන කේබල් එක මේ පරිපථය එක්ක සම්බන්ධ වෙන්නේ.


ඔය බල්බ් එකට දකුණු පැත්තෙන් තියෙන්නේ අර පරිපථයෙන් එන කේබල් එක වහලයට සම්බන්ධ කරලා තිබ්බ කොක්ක.

ලංකාවේ දුම්රිය සේවය ආරම්භ වෙලා සෑහෙන්න කාලයක් ගතවෙනකම්ම අපේ රටේ කිසිම දුම්රිය ස්ථානයකට විදුලි බලය සපයලා දීලා තිබිලා නෑ. ඒකට ඉතින් ප්‍රායෝගික ගැටළුත් තියෙන්න ඇති ඒ කාලයේ හැටියට. හැබැයි ඉතින් රෑ ජාමෙට කරුවලේ ඉන්න බැහැනේ . . . . . . , මේකට විකල්පයක් හොයන්න කල්පනා කරද්දී හමුවෙච්ච විසදුම තමයි පැට්‍රෝමැක්ස් ලාම්පුව කියන්නේ. මේක අපූරු ක්‍රියාකාරීත්වයක් තිබ්බ ලාම්පුවක්. දැන් නම් දැකගන්නට නැති තරම්.

අදුර වැටීගෙන ආවාම දුම්රිය ස්ථානයේ තියෙන පැට්‍රෝමැක්ස් ලාම්පු දල්වලා පොඩි කේබල් එකක අමුණණවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ බිත්තියට සම්බන්ධ කරලා තියෙන ඔය පින්තූරයේ තියෙන පොඩි උපකරණයේ තියෙන සිදුරට යතුරක් වගේ දෙයක් ඇතුළත් කරලා කරකවනවා. එතකොට සිද්ධ වෙන්නේ අර කේබල් එකෙන් රැඳවිලා තියෙන ලාම්පුව හිමීට ඉහළට එසැවෙන එක. ඔන්න ඔහොමයි මේ ලාම්පුව අපේ උදවිය පාවිච්චියට අරගෙන තියෙනවාය කියන්නේ.

ඔය විදිහට පාවිච්චි කරන්න තිබ්බ ලාම්පු තියන්න වෙනම කාමරයක් හැම ස්ටේෂන් එකකම වගේ තිබිලා තියෙනවා ඉස්සර. ඒක හදුන්වලා තියෙන්නේ ලාම්පු කාමර (Lamp Room) කියන නමින්. උඩතලවින්න ස්ටේෂන් එකේ නම් එහෙම ලාම්පු කාමරයක් දැකගන්නට ලැබුණේ නැහැ. සමහරවිට පසුකාලීනව කරන ප්‍රතිසංස්කරණවලදී ඒක ඉවත් කරන්නත් ඇති. හැබැයි අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ පැරණි ගොඩනැඟිල්ල ආසන්නයේ ලාම්පු කාමරයක් තියෙනවා නම් මම දැක්කා මීට කාලෙකට කලින්.

සරල අවබෝධයට මම සකස් කරපු රූප සටහනක්.



මෙහෙම එකකුත් තිබ්බා.


හයික් එක ආරම්භයට සූදානමින් උඩතලවින්නේ දී.

අපේ අහඹු රේල් හයික් එක පටන් ගත්තේ උඩතලවින්න ස්ටේෂන් එක ගාවින්. සැළැස්ම වෙලා තිබුණේ වත්තේගමින් ගමන අවසාන කරලා ආපහු මහනුවර දක්වා යන පහළ දුම්රියේ එන එක. ඒ නිසා පොඩ්ඩක් විතර උඩතලවින්න - වත්තේගම සෙක්ෂන් එක ගැන කතා කරලා හිටියොත් හොදයි කියලා හිතෙනවා දැන්. මේ සෙක්ෂන් එක ඇතුළේ මීගම්මන කියන උප දුම්රිය ස්ථානයත් යටිරාවණ කියන දුම්රිය වේදිකාවත් දෙක පිහිටලා තියෙනවා. කොහොම වෙතත් ඔය මීගම්මන නම් බොහොම ඉස්සර දුම්රිය වේදිකාවක් විතරයි. ඉතාමත් මෑතකදී තමයි උප දුම්රිය ස්ථානයක් තත්වයට උසස් කරලා තියෙන්නේ. දුම්රිය මාර්ගය තියුණු වංගු හා සහ බෑවුම් සහිතව ඉඳිකරලා තියෙන බවක් පේන්නට තිබුණා. හැබැයි බොහොම අලංකාර පරිසරයක්. සමහර ස්ථාන තරමක් ජනාවාස වෙලා තියෙන බවකුත් දැකගන්නට ලැබුණේ දුම්රිය මාර්ගයට ආසන්නව ඉඳිවෙලා තියෙන කඩපිල්, නිවාස වගේ දේවල් නිසා. විශේෂත්වය ඒ හැම මානව ඉඳිකිරීමක්ම වගේ දුම්රිය මාර්ගයට මුහුණලා ඉඳිකර තිබීම. ඒ විතරකුත් නෙමෙයි. දුම්රිය මාර්ගයේ සමහර ස්ථාන ප්‍රධාන මාර්ගයට ඉතාමත් සමීපව තමයි ඉඳිවෙලා තිබුණේ.


මීගම්මන උප දුම්රිය ස්ථානයක් බවට පත් කළ වග දක්වන සමරු ඵලකය.


දුම්රිය ස්ථානයේ නාම පුවරුව.

වත්තේගම කියන්නේ මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙච්ච මුල් අවධියේදීම ඉඳිකරපු ප්‍රධාන දුම්රිය ස්ථානයක්. මහනුවර රොබරෝසියා මල් පිපෙන කාලයට හරිම ලස්සන ස්ටේෂන් එකක්. දුම්රිය ස්ථාන ගොඩනැඟිල්ල ඒ පෞරාණික උරුමය තවමත් රැකගෙන විරාජමානව වැජඹෙනවා දකිනකොට හරිම සතුටක් දැණුනා. මේ වෙද්දී දුම්රිය නැවතුම් වේදිකා දෙකකුත්, තවත් පාෂ මාර්ග දෙකකුත් දැගන්නට ලැබුණා මෙතනදී. හැබැයි ඒ පාෂ මාර්ග නම් සෑහෙන්න කාලයකින් පාවිච්චි කරලා නැති පාටයි. පැරණි බඩු ගබඩාව සහ අත්හැරලා දාලා තිබ්බ දොඹකරය, වත්තේගම කියන්නේ අතීතයේදී බොහොම කාර්යබහුල දුම්රිය ස්ථානයක් වග අපිට මනාවට ඔප්පු කරන්නට වුණා.


ටිකක් දුර්ලභ රේල් ගේට්ටුවක්. කඩුගන්නාව ස්ටේෂම කිට්ටුවත් මේ වගේ එකක් තියෙනවා දැකලා තියේ.

කොච්චිය යන වෙලාවට මහපාර වහන්නත්, කෝච්චි නැති වෙලාවට රේල් පාර වහන්නත් මේකට පුළුවන්.

පරණ තේරවිල්ලක් තියෙනවා,

"අරිනකොට වහනවා    -    වහනකොට අරිනවා    -    පාර මුර කරනවා    -    තේරුවොත් දිනනවා කියලා."

මේ තියෙන්නේ ඒකට හරිම උත්තර කියලයි සුභාෂ් අයියා නම් කීවේ.


වත්තේගම නාම පුවරුව.


වත්තේගම පළමු හා දෙවැනි දුම්රිය වේදිකා සහ දකුණු පසින් පැරණි බඩු ගබඩාව.
මේ පොටෝව සුභාෂ් අයියගෙන්.


දෙවැනි වේදිකාවේ නවත්වා ඇති මහනුවර දුම්රිය සහ දකුණු පසින් පාෂ මාර්ග සමඟ බඩු ගබඩාව.
මේ පොටෝව සුභාෂ් අයියගෙන්.

වත්තේගමින් අපේ ගමන අහවර කරන්නට තමයි සැලසුම් කරගෙන හිටියේ. ඒත් ඊළඟට අපි යන්න හිටපු දුම්රිය එන්න තවත් සෑහෙන්න වෙලාවක් තිබුණ නිසා පොඩි ඉස්පාසුවක් අරගෙන ඒ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයටත් ස්තුති කරලා වත්තේගමින් අපි පිටත් වුණා පතන්පහ දක්වා එන බලාපොරොත්තුව ඇතිව. වත්තේගම ඉදන් පතන්පහට එද්දී හමුවෙනවා තවත් කුඩා දුම්රිය වේදිකාවක් යටවර කියලා. ඒ පහුකරලා සෑහෙන්න දුරක් ආවාම තමයි පතන්පහ උප දුම්රිය ස්ථානය හමුවෙන්නේ. මේ කොටස බොහොම නිසංසල පරිසර තත්වයක් තිබුණ කලාපයක් වුණා. ඒ තරමටම නිහඩතාවය සහ සොබාදහමේ ආධිපත්‍යය ඒ ප්‍රදේශය පුරාම ව්‍යාප්ත වෙලා තිබුණා. කොහොමහරි ගමනේ අවසානයට එද්දී මට හොදටෝම මහන්සියි. මේ වගේ හයික් එකක් ගියපු පළවෙනි වතාව නිසා වෙන්න ඇති ඒ. ඔය නිසා පතන්පහට එද්දී අපි හිතුවාට වඩා තරමක් පරක්කු වුණා. දුම්රියේ හඩ ඇසෙන ඉසව්වේ දී තමයි පතන්පහ ස්ටේෂන් එකට ආවේ. ඒත් දුවගෙන ආපු නිසා. මේ හේතුවත් එක්ක පතන්පහ ගැන ලොකු සොයාබැලීමක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒක අනාගතයේ දී කළ යුතු වැඩ ලයිස්තුවට එකතු කරගත්තා මම නම් ඉතින්.

යටිරාවණ දුම්රිය වේදිකාව.


පතන්පහ උප දුම්රිය ස්ථානය.

පතන්පහෙන් මහනුවර දක්වා එන කෝච්චියේ එද්දී කටුගස්තොට ස්ටේෂන් එකට ඇවිත් හිටියා අපේ තවත් හිතවතෙක්. ආදරේට නම් කියන්නේ පොටෝ මල්ලී කියලා. හැබෑ නම ෂෙනාල්. මහනුරට ඇවිත් උදේ කෑම එක දවල්ට කාලා අහවර වෙලා සුභාෂ් අයියා එක්ක KCC (Kandy City Center) එක පැත්තේත් රවුමක් දාලා හිමින්සැරේ නුවර ස්ටේෂන් එකට ආවා ආපහු කොළඹ එන්න හිතාගෙන. යකඩ යකා සමූහය නිසා දැන ගත්ත තවත් අහඹු හමුවක් වුණා එතනදී ඒ වෛද්‍ය චානක අයියව හමුවීමට ලැබීම. එයා මාතලේ යන්න ඇවිත් හිටිය ගමන්. ලංකාවේ දුම්රිය සේවය ගැන සෑහෙන්න වෙලාවක් කතාබහ කරන්න අපිට අවස්ථාව ලැබුණා අපි තුන්දෙනා යන්න හිටපු දුම්රියන් පිටත් වෙන්න සෑහෙන්න වෙලාවක් තිබ්බ නිසා. ඔය අතරේදී චානක අයියා මගේ බීම බෝතලේ උගුරු දෙක තුනකටත් වැඩේ දෙන්න අමතක කළේ නැහැ.


මම තුමා, සුභාෂ් අයියා සහ චානක අයියා මහනුවර දී.
ඔය 974 එන්ජිම එක්ක තියෙන්නේ අංක 1016 උඩරට මැණිකේ සීග්‍රඝාමී දුම්රිය කොළඹ එන්න ලෑස්ති පිට.

තව පොඩි දෙයක් තියෙනවා කියන්න. ඔය උඩ පොටෝවේ ඉන්න තුන් කට්ටුව යන්නේ මාර්ග තුනක. මම තුමා ප්‍රධාන මාර්ගයේ පහළට කොළඹ කොටුව දක්වා ඇවිත් එතනින් කැළණිවැලි මාර්ගයේ. සුභාෂ්තුමා ප්‍රධාන මාර්ගයේ ඉහළට ගෙලිඔය දක්වා. චානක අයියා මාතලේ මාර්ගයේ අවසානය දක්වා. ඒකත් අපූරු හමුවීමක් තමයි.

මෙතන තියෙන්නේ ඉංග්‍රීසි S අකුරේ හැඩයට තියෙන වංගුවක්. මේ වගේ වංගු සහ ලස්සන පරිසර තත්වයන් ගමන පුරාවටම දැකගන්නට ලැබුණා.

පේරාදෙණිය හන්දිය සිට මහනුවර දක්වා සෙක්ෂන් එක හැරෙන්න සම්පූර්ණයෙන්ම ටැබ්ලට් ක්‍රමය හා සෙමෆෝ සංඥා මඟින් පාලනය වෙන මාතලේ මාර්ගයේ කොටසක ගියපු හයික් එක ගැන සමස්ථයක් විධියට ගත්තොත් කෝපි, කොකෝවා සහ සාදික්කා වගාවන්වල නෂ්ටාවශේෂ ගමන පුරාවටම වගේ අපිට දැකගන්නට ලැබීම තරමක් සුවිශේෂී තත්වයක්. සාදික්කා නම් ලංකාවේ තිබ්බ භෝගයක් බොහොම ඇත අතීතයේ ඉදන්ම. හැබැයි කොකෝවා සහ කෝපි කියන වගාවන් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී වැවිලි ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස අපිට ලැබිච්ච දායාද කියලා අමුතුවෙන් සිහිපත් කරන්න ඕන නැහැනේ. ඒකෙත් මාතලේ මාර්ගය අවට ඉතිරි වෙලා තියෙන කෝපි වගාව ලංකාවේ කෝපි ඉතිහාසයේ දෙවැනි පරපුර. ඒක බොහොම දිග කතාවක් නිසා මෙතන සටහන් කරන්න යන්නේ නැහැ.


සෙමෆෝ සිග්නල් කණු.

කොහොමත් කොළඹ සිට මහනුවර සහ බදුල්ල දක්වා දුම්රිය මාර්ගය ඉඳිවීම සිදුවෙන්නේ තේ වගාව සහ දකුණු ඉන්දීය ශ්‍රමිකයන් ප්‍රවාහනය මුල් කරගෙන. මේ අතරේ දී පසුකාලීනව මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙන්න හේතුව බවට පත්වෙන්නේ අර උඩින් කීව කෝපි සහ කොකෝවා වගාවන් මාතලේ සානුව ආශ්‍රිතව ව්‍යාප්ත වීම හා ඒ අස්වැන්න අගනුවරට ප්‍රවාහනය කිරීම අරමුණු කරගෙන. මඟී ප්‍රවාහනය ප්‍රමුඛ වෙලා නැහැ. හැබැයි මඟී ප්‍රවාහනය සිද්ධ නොවුණාය කියලා කියන්න බැහැ කොහෙත්ම. දුම්රියේ යනවාට වඩා පයින් ගිය මේ ගමනේදී වැදගත් තොරතුරු රාශියක් ගැන දැනගන්නට ලැබුණා. සුභාෂ් අයියා සහ මම අතර සිද්ධ වෙච්ච කතාබහේ දී තමයි ඒ. ඇත්තම කීවොත් මාතලේ දුම්රිය මාර්ගය කියන්නේ අපි හිතනවාට වඩා මහාර්ඝ වටිවාකමක් තියෙන ජීවමාන කෞතුකාගාරයක් බව මේ ගමන නිසා මට තේරුම් ගියා. ගමන පුරාවටම දකින්න ලැබුණු භෞතික සාධක වගේම පාරිසරික සාධක ඒකට ලොකු රුකුලක් වුණා.


විජය රජතුමා තම්බපණ්ණියට ගොඩබැහැලා ලංකාව ජනාවාස වෙලා තියෙනවා කියලා හොයාගත්තේ බැල්ලියක් නිසාලු. ඒ වගේම අපි මේ යන ගමනේදී දුම්රිය මාර්ගය අවට සැලකිය යුතු තරම් ජනාවාස වෙලා කියලා හොයා ගත්තේ මේ වගේ යාළුවෝ කිහිප දෙනෙක් නිසා.


පුවක් වේලන්නේ කරුංකා කරන්න බලාගෙන වගේ.


පාළුවට ගිය නිවාස පෙළක්. පෙනුමෙන් නම් දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඒවා වගේ.

පෝය දවසේ නිවාඩු පාඩුවේ ගියපු මේ ගමන අහම්බෙන් වුණත් මට ලැබුණු අළුත්ම අත්දැකීමක්. ඒ වෙනුවෙන් ඉස්සෙල්ලාම සුභාෂ් අයියට බොහොම ස්තුතියි. ඒ වගේම දුම්රිය යන එන වෙලාවල් ගැන වගේම ආරක්ෂාව අංක එකට තියාගෙන ගමන යන්න ඕන බව අපිට අවධාරණය කරපු දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලයන්ටත් අනේක වාරයක් පින්. හැබැයි ගමන ගිහින් ආවාට පස්සේ තමයි රඟේ තේරුණේ ඇති වෙච්ච කකුලේ අමාරුවකුත් එක්ක. පස්සේ දවසේ වැඩට ගිහිනුත් නොන්ඩි ගහන ගමන් තමයි ඇවිදින්න වුණේ. එදා ඔෆීස් එකේ දී මාව දැක්ක අයටත් හිනා ඉතින්. මොනා කරන්නද "කුම්භලා මාළු කෑවා නම් විදවපන් බලලෝ" කියලා පරණ කියමනක් එහෙමත් තියෙනවනේ. ඒ ගැන හිතලා ඉවසනවා කරන්න වෙන දෙයක් නැති කමට.

මේ ගමනේ මගේ සඟයා වෙච්චි සුභාෂ් අයියා එයාගේ බ්ලොග් අඩවියට ලියපු ලිපියට මෙතනින් යන්න පුළුවන්. කැමති උදවිය ඒකත් කියවලාම බලන්න. වැදගත් තොරතුරු ගොඩක් තියෙනවා එතැන. ඒ විතරක් නම් මදැයි. පහුගිය සතියේ දෙවතිවක්ම නුවර යන්න සිද්ධ වුණා. එකක් මේ බ්ලොග් සටහනට පාදක වෙච්ච ගමන අනෙක මගේ ඥාති සහෝදරියකගේ ඉල්ලීමට එයාව දන්තුරේ එක්කගෙන යන්න පහුගිය 19 වැනි සෙනසුරාදා ගිය ගමන. මේ ගමන් වාර දෙකේදීම අමරණීය සුන්දර මතක ගොන්නක්ම එකතු කරන්නට අවස්ථාව ලැබීම ගැන ඇත්තෙන්ම සතුටුයි.


නුවරින් හවස 3.30 කෝච්චියේ ගෙදර එන්න පිටත් වුණු ගමන්.


අඳුරු මතක සඟවාගෙන ඉන්න යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය.


කොළොම්තොට සම්ප්‍රාප්තිය.

අද බ්ලොග් සටහන අවසන් කරන්න කලින් කියවන ඔය කාට කාටත් පොඩි අවවාදයක් දෙකක් දෙන්න කැමතියි. එකක් තමයි අපේ මේ ලංකාව කියන්නේ බොහොම සුන්දර රටක්. සුන්දර මිනිසුන් ඉන්න රටක්. ඒ අයව අදුරගන්න වගේම ඒ සුන්දරත්වය දකින්න රට වටේ යන්නම ඕන. හැබැයි ඒ රැල්ලට නෙමෙයි. අවංකවම ඒ ගැන හොයන අදහසින් වගේම ඒ සුන්දරත්වය ජීවිතයට උකහා ගන්න අදහසින්. අංක 2 තමයි මොන විදියට රට වටේ ගියත් කමක් නෑ. අනේ කරුණාකරලා ඒ පරිසරය විනාශ කරන්න නම් හිතන්නවත් එපා. මොකද ඒ පරිසරය අපිට තවත් එක තැනක් විතරක් වුණාට ඒ ප්‍රදේශවල ජීවත්වෙන මිනිස්සුන්ගේ හදවත වගේම ජීවනාලියත් ඒ පරිසරයම තමයි. ගමනක් යද්දී ඔබ අරගෙන යන හැම දෙයක්ම ආපහු මඟ හලන්නේ නැතිව ගෙදර අරගෙන එන්න. කිසිම භෞතික හානියක් කරන්නේ නැතුව සුන්දර මතකයන් පමණක් එකතු කරගෙන එන්න.

අන්න ඒ අවවාදයන් එක්ක අදට බ්ලොග් සටහන මෙතනින් නවත්වන්නම් එහෙනම්. තවත් දවසක තවත් අළුත් බ්ලොග් සටහනක් එක්ක හමුවෙන්නම්. හැමෝටම සුභ දවසක්. යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපදින ගමන් හැමෝම පරිස්සමින් ඉන්න.

පොතක් ගැන යමක්.

සෑහෙන්න කාලයකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ ඉතින් ඔන්න. මෙදා සැරේ පරණ අවුරුදු තොරතුරුයි අලුත් අවුරුදු සුබ පැතුමයි නැතුව කෙලින්ම පොතක් ගැන පෝස්...