Wednesday 29 December 2021

සුනාමි කෝච්චිය.


 


දැනට අවුරුදු දහහතකට (17) කලින් දෙසැම්බර් මාසයේ විසි හයවැනිදා (26) දවසක, හරියටම කීවොත් 2004.12.26 වැනිදා ලෝකයම කම්පා කරමින් සිද්දවෙච්ච මහා සුනාමි ව්‍යසනය මම වගේම ඔබ සහ අපි කාටත් අමතක නැතුව ඇති. මේ ව්‍යසනයෙන් වැඩිම බලපෑම් එල්ල වුණේ දකුණු ආසියාතික කලාපයේ මුහුද ආසන්න ප්‍රදේශවල පිහිටලා තියෙන රටවල්වලට. ඒ අතරිනුත් ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ සුමාත්‍රා දූපත්වලට සිද්ද වෙච්ච හානිය නම් අතිමහත්. විශාල දේපළ හානියක් මේ නිසා සිදුවෙද්දී අහිමි වුණු මිනිස් ජීවිත සංඛ්‍යාවේ වටිනාකම නම් මිල කරන්න හැකියාවක් නම් ඇත්තේම නැහැ.


ලෝකයේම අවධානය යොමු වෙච්චි මේ සිද්ධියේ දී ලංකාව ඇතුළේ වෙන තවත් සිදුවීමක් ලොකු ශෝකාන්තයක් සටහන් කරන්නේ කාටවත් හිතාගන්න බැරි විදියට. සුනාමිය එන දවසේ මරදාන සිට මාතර දක්වා ධාවනය වීමට නියමිතව තිබුණු අංක 8050 දරණ සීඝ්‍රගාමී දුම්රිය කිසිම වෙනසක් නැතුව සාමාන්‍ය ආකාරයටම තමන්ගේ ගමන්වාරය ආරම්භ කරන්නේ හරියටම උදෑසන 6.30 ට මරදාන දුම්රිය ස්ථානයෙන්. එදා ඒ දුම්රියට යොදවලා තිබුණේ කැනඩාවේ නිෂ්පාදිත M2 වර්ගයේ අංක 591, එහෙමත් නැතිනම් මැනිටෝබා (Menitoba) නමින් හදුන්වන දුම්රිය එන්ජිම. මේ දවසේ තුන්වැනි පන්තියේ නියාමක මැදිරියක්, දෙවැනි පන්තියේ මැදිරි දෙකක්, තුන්වැනි පන්තියේ මැදිරි හතරක් සහ අවසානයට තවත් තුන්වැනි පන්තියේ නියාමක මැදිරියක් ආකාරයට මැදිරි සකස් කරලා තිබුණු මේ දුම්රියේ රියදුරු විදියට එම්. බී. ජේ. කේ. ප්‍රනාන්දු මහතා ත්, රියදුරු සහයක ලෙසට එන්. සිවලෝගනාදන් මහතා ත්, ප්‍රධාන නියාමක ලෙසට ඩබ්. කරුණාතිලක මහතා ත්, උප නියාමක ලෙසට ආර්. යූ. ඒ. ගුණරත්න මහතා ත් රාජකාරියේ නිරත වූ බව සඳහන් වෙනවා.

 


එදා මෙතනින් 8050 නතර කරගන්න පුළුවන් වුණා නම් ?????????


2004.12.26 වැනි ඉරිදා දවස නත්තල් දිනයට පසු දිනයක් වීම නිසාවෙනුත්, පොහොය නිවාඩු දිනයක් වීම නිසාවෙනුත් වෙනදාට වඩා වැඩි මඟීන් ප්‍රමාණයක් 8050 දුම්රියේ ගමන් කිරීමට මරදාන, කොළඹ කොටුව, දෙහිවල, මොරටුව, පානදුර වගේ ප්‍රධාන දුම්රිය ස්ථාන වෙත පැමිණීම සිදුවෙනවා. කොහොම වෙතත් දුම්රියට දුම්රිය නවත්වා ගන්නැයි ලැබෙන නිවේදනය භාරගන්න අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට බැරි වෙන්නේ ඉතාමත් අවාසනාවන්ත විදියට. ඒත් එක්කම කහව දුම්රිය ස්ථානය පහුකරගෙන යන්න ලැබෙන්නේ බොහොම ටික දුරයි.  ඒ නිසා හිතාගන්නවත් බැරි විදියට පැරෑලිය ප්‍රදේශයේ දී ගොඩට එන මුහුදු රළ මඟී මැදිරි 08ක් එක්ක ටොන් 80ක් විතර බර දුම්රිය එන්ජිමකුත් සම්පූර්ණයෙන්ම කණපිට පෙරළන්නේ ජීවිත දහස් ගණනක් අහිමි කරමින්. එදා මේ විදියට ලංකාවේ දී සිද්ධ වෙච්ච සුනාමි දුම්රිය අනතුර එදා මෙදා තුර කාලයේදී අපේ රටේ වෙච්ච බිහිසුණුම දුම්රිය අනතුරුවලින් එකක් විදියට සලකන්නේත් ඒ ජීවිත හා දේපළ හානියේ බරපතලකම නිසාවෙනුයි. 


සුනාමියට හසුවූ 591


8050 දුම්රිය සුනාමියට හසුවීමෙන් පසු.



සුනාමියට හසුවූ සම්පූර්ණ 8050 දුම්රිය නැවත පීලිගත කිරීමෙන් පසු.
(මෙම ඡායාරූප ත්‍රිත්වය අන්තර්ජාලයෙනි.)

නැවත නැගී සිටීමට බැරි තරමින්ම හානි සිදුවී තිබියදී ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දක්ෂ සේවකයන්ගේ කැපවීමෙන් දින 52ක් තරම් කෙටි කාලයකදී විනාශ වී ගිය දුම්රිය මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට අවස්ථාව ලැබුණි. ඒ වෙනුවෙන් "දින පනස් හතේ මෙහෙයුම" නමින් කුඩා ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත් කළේය. මෙහි වඩාත් අපහසුම කාර්ය වූයේ දැඩි හානියට පත් අංක 591 මැනිටෝබා දුම්රිය එන්ජිම නැවත අළුත්වැඩියාකොට ධාවන තත්වයට පත් කිරීමයි. එම අභියෝගය රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ සේවක පිරිස් විසින් භාර ගන්නා ලදි. ඒ ගැන සම්පූර්ණ කතාව මෙතනින්  (විනාඩි 39 සිට) අහන්න පුළුවන්.


2008 දී 8050 දුම්රිය සමඟ 591 එන්ජිම.
(ඡායාරූපය : Priyantha Rodrigo මහතා)



යාවත්කාලීන කිරීම 01. (2022.01.01)
"දින පනස් හතේ මෙහෙයුම" පොත.
(ඡායාරූපය : ජනිත් අයියාගෙන්)

සුනාමියට හසුවූ 591 එන්ජිම රත්මලාන කර්මාන්ත ශාලාව ඇතුළේ සිද්ධවෙච්ච අළුත්වැඩියා කටයුතුවලින් පස්සේ නැවත ධාවනයට එකතු වෙන්නේ 2008 වසරේ දී. ඒ අනුව 2008 වසරේ දෙසැම්බර් 26 වැනිදා සුනාමියෙන් පසු පළමු වරට 8050 දුම්රියට එකතු කරන මේ එන්ජිම එදා මාතර දක්වා ධාවනය කරනවා. ඒ එද්දී සුනාමියට හසුවූ එන්ජිම බවට සංඛේතවත් කරමින් මුහුදු රැල්ලක් එන්ජිමේ දෙපස නාම පුවරු අසල සිතුවම් කිරීම මේ එන්ජිමට අපූරු වෙනස්කමක් එකතු කරනවා. ඒ සිතුවම නිර්මාණය වෙන්නේ දුම්රිය එන්ජිම අළුත්වැඩියා කරන්න විශාල මහන්සියක් වෙච්චි කුරේ මහත්තයාගේ අදහසකට අනුවයි. ඇත්තෙන්ම එය අපූරු සිහිවටනයක්. වසර 60කටත් වඩා පැරණි මේ එන්ජිම අදටත් ඉතාමත් හොඳ ධාවන තත්වයේ තිබෙන්නක්. විශේෂයෙන්ම දැන් මඩකළපුව දුම්රිය මාර්ගයේ අවශ්‍යතා වෙනුවෙන් නැතිවම බැරි එන්ජිමක්.



591 දුම්රිය එන්ජිමේ නාම පුවරුව සහ සුනාමි රැල්ලක් සිතුවම් කර ඇති අයුරු.


රුදුරු රළ පහර අපට පහර දී පසුගිය 26 වැනි දිනට හරියටම වසර 17ක් සම්පූර්ණ වූ දිනයත්, 2004 දෙසැම්බර් 26 දිනයත් අතර අමුතුම ආකාරයේ සමානකමක් දකින්නට ලැබුණා. ඒ සුනාමිය ආපු දවසත්, සංවත්සරය යෙදුණු දවසත් කියන දවස් දෙකම ඉරිදා දිනයන් වීම නිසා. ඒ වගේම පහුවෙච්ච දෙසැම්බර් 26 වැනිදා සුනාමි සංවත්සර දුම්රිය ධාවනය කළේත් අංක 591 මැනිටෝබා දුම්රිය එන්ජිම සමඟින් වීම ඒ විශේෂත්වය තවත් දෙගුණ තෙගුණ කරන්නට සමත් වුණා. වසර 17කට පෙර පැරෑලියේ දී සිදුවුණු ව්‍යසනය සිහිපත් කරමින් දුම්රිය එම ස්ථානයේ මදකට නතර කොට මියගිය සහෘදයන් වෙනුවෙන් ගෞරව දැක්වීමත් සිදුකරන්නට යෙදුණා.


අංක 591 මැනිටෝබා දුම්රිය එන්ජිම පැරෑලියේ දී 2021 සුනාමි සංවත්සර දුම්රිය සමඟ.


සුනාමි සංවත්සරය සඳහා පැරෑලිය දක්වා පැමිණි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ 591 එන්ජිම.

සුනාමියෙන් වසර 17කට පසුව පැරණි මතකය නැවත සිහිපත් කරන්න පසුගිය 26 වැනිදා සුනාමි සංවත්සර දුම්රිය රැගෙන යන්න මැනිටෝබා එන්ජිම එක් කර තිබීම නිසා දුම්රිය ලෝලීන් රැසක් එදා 8050 දුම්රියේ ගමන් කරන්නට යෙදුණාෙ. දුම්රිය ස්ථානාධිපතිවරුන් ගෙන ගියපු වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කළේ නැහැ. ඒ හින්දා එදා දවසේ සම්පූර්ණ ගමන නොමිලේ තමයි. මේ සටහන සකස් කරන්නේ අදාළ ගමන ගිහින් ඇවිත් දින කිහිපයකට පසුව. ඒ වගේම මගේ බ්ලොග් අඩවියේ වැදගත් යැයි කියන්න පුළුවන් පළමුවැනි ලිපිය. මේ සකස් කිරීමේදී අවශ්‍ය තොරතුරු සොයාගැනීම වෙනුවෙන් සහයෝගය දක්වපු ෂෙනාල් කවීෂ මල්ලීට සහ ජනිත් අයියාටත් විශේෂ ස්තුතිය ලබා දෙන්න කැමතියි. ඒ වගේම ඉතාමත් කෙටි දැනුම් දීමකින් මාත් එක්ක ගමනට එකතු වෙච්ච මගේ හිතවතා රුසිත්ටත් බොහොම ස්තුතියි.

තවත් නව කරුණු දැනගත්තොත් මේ සටහන ඉඳිරියේදී තවත් යාවත්කාලීන වේවි. 

තවත් දින කිහිපයකින් උදාවෙන 2022 නව වසර ඔබේත් මගේත් අලුත් බලාපොරොත්තු රැසක් එක්ක ලොකු ගමනක් යන්න තියෙන කාලයක්. 2019 දී බොම්බ පිපිරීමත්, 2020 සහ 2021 දී කොරෝනා වයිරසය පැමිණීමත් එක්ක අපේ ජීවිත සෑහෙන්න ආපස්සට ගියා. එහෙමත් නැතිනම් එක තැන නැවතුණා. ඉතින් ඉදිරියේ දී උදාවීමට නියමිත අලුත් අවුරුද්ද කාටකාටත් නිදුක් නීරෝගිමත්, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මෙයත් සමඟම ප්‍රාර්ථනා කරනවා.

අලුත් අවුරුද්දේ දී අලුත් බ්ලොග් සටහනක් සමඟ හමුවෙමු එහෙනම්.

Thursday 23 December 2021

“රස පුවත්” මොකටද?

 


 



යම් පුද්ගලයෙක් විසින් එදිනෙදා ජීවිතයේදී තමන් මුහුණ දෙන විවිධ අත්දැකීම් වගේම වෙනත් සුවිශේෂී සිදුවීම්, අවස්ථා, කාලීනව වැදගත් තොරතුරු, මතවාද, අධ්‍යාපනික කරුණු වගේ දේවල් තවත් අය සමඟ හුවමාරු කර ගැනීමේ අදහසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයක් ලෙස මේ බ්ලොග් අඩවි (Blog sites) හදුන්වලා දෙන්න පුලුවන්. මේ විදියට බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කෙනෙක් බ්ලොග්කරුවා (Blogger) ලෙසත් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම බ්ලොග්කරණය (Blogging) ලෙසත් හදුන්වනවා. කර්තෘවරයාගේ රුචිකත්වය අනුව එම බ්ලොග් අඩවිවල අන්තර්ගතය වෙනස් වීම සුවිශේෂි තත්වයක්. බ්ලොග්කරණය ගැන ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරන්න පුලුවන් ඔය තොරතුරු එක්ක.


ලෝකය පුරාම මේ වෙද්දී බ්ලොග් ලිවීම වෙනම කලාවක්. ආගමික, ආර්ථික, විනෝදාත්මක වගේ විවිධ විෂය පථයන් වෙනුවෙනුත්, දේශපාලන, ශාස්ත්‍රීය, සමාජීය ඇතුළු තවත් බොහෝමයක් අරමුණු වෙනුවෙනුත් බ්ලොග්කරණය දැන් සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙන දෙයක්. ඔය තත්වය ඇතුළේ දී සිංහල යුනිකෝඩ් භාවිතයෙන් බ්ලොග් ලිවීම ගැන කතා කළොත් ඒකත් ඉතාම වැදගත් කාරණයක් වෙනවා. මොකද කීවොත්, අන්තර්ජාලය හරහා තොරතුරු ගවේශණයේ යෙදෙන බහුතර පිරිසක් සිංහල බ්ලොග් අඩවි පරිශීලනය කිරීම සාමාන්‍යයෙන් සිදුකරන දෙයක් බවට පත්වෙලා තියෙන නිසා. එතකොට සිංහලෙන් බ්ලොග්කරණය මේ වෙද්දී හොද තොරතුරු මූලාශ්‍රයක් බවට පත්වෙලා තියෙන දෙයක් බව නම් පැහැදිලියි.

 

ඒ විදියට සිංහලෙන් ලියන බ්ලොග් අඩවි අතරට අලුතින්ම එකතු වෙන්නේ මගේ මේ රස පුවත්” (https://rasapuwath.blogspot.com)  බ්ලොග් අඩවිය. 2022 දී අලුත් අවුරුද්දට අලුත් වැඩක් විදියට ආරම්භ කරන්න හිතාගෙන හිටියත් පරණ අවුරුද්දෙදී ම පළවෙනි ලිපියෙන් මේ විදිහට පොඩි හැදින්වීමක් කරන්න ආසා හිතුණා. කොහොම වෙතත් මම අහන, දකින, දැනගන්න අලුත් තොරතුරු වගේම සාමාන්‍යයෙන් කෙනෙකුගේ අවධානයට ලක් නොවෙන විවිධ පැතිකඩයන් ගැන කියවන ඔයාලගේ අවධානය යොමු කරවන්නත්, ප්‍රමාණවත් තරමේ දැනුමක් ලබා දෙන්නත් මේ හරහා බලාපොරොත්තු වෙනවා.

 

ඉතින් ආරාධනා කරනවා අලුත් දෙයක් දැනගන්න කැමති හැමෝටම එකතු වෙන්න කියලා මාත් එක්ක.

පොතක් ගැන යමක්.

සෑහෙන්න කාලයකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ ඉතින් ඔන්න. මෙදා සැරේ පරණ අවුරුදු තොරතුරුයි අලුත් අවුරුදු සුබ පැතුමයි නැතුව කෙලින්ම පොතක් ගැන පෝස්...