Sunday 21 January 2024

පොතක් ගැන යමක්.

සෑහෙන්න කාලයකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ ඉතින් ඔන්න. මෙදා සැරේ පරණ අවුරුදු තොරතුරුයි අලුත් අවුරුදු සුබ පැතුමයි නැතුව කෙලින්ම පොතක් ගැන පෝස්ටුවක් ලියන්න හිතුවා. ඔය පහලින් තියෙන්නේ ඒක. ඉතින් ගිහින් කියවලාම බලන්ටකෝ........................

කාලෙන් කාලයට කලඑළි බහින විවිධාකාර පොත් අතරින් පොත් කිහිපයක්වත් හොයාගෙන කියවන එක ඉතින් මගේ පුරුද්දක්. මේ කාරණයේ දී නම් මම වැඩි අවධානයක් දෙන්නේ ඉතිහාසය, චරිතාප්‍රදාන වගේ පොත්වලට තමයි. කොහොම වෙතත් 2024 අවුරුද්දේ මගේ එකතුවට පළවෙනියටම එකතු වුණේ අපේ රටේ දුම්රිය ඉතිහාසය ගැන විෂය කරගත්ත සබරගමුව දුම්රිය කියන පොත. කර්තෘවරයා තමයි අපේ රසික අයියා. දුම්රිය සේවය සම්බන්ධයෙන් එයාගේ අතින් ලියැවෙන දෙවැනි පොත වගේම, සිංහලෙන් ලියැවෙන පළවෙනි පොතත් මේකම තමයි. 


ඉතිහාසය විෂයට අදාළ පොත්පත් විවිධ කුලකවලට බෙදෙනකොට ඒ අතරින් එක කුලකයක් වෙන්නේ දුම්රිය ඉතිහාසය ඉතින් මේ උප විෂය ඇතුළේ තවත් ගොඩාක් බෙදීම් තියෙනවා. ඒවා මොනවද කියන එක ගැන නම් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාම ඉන්න කෝච්චි පිස්සෝ හොදටම දන්නවා. 

දැන් එතකොට ඔය දුම්රිය ඉතිහාසය ඇතුළේ අර කීව උප බෙදීම් වෙනකොට එතැනින් තවත් එක බෙදීමක් තමයි දුම්රිය මාර්ගවල ඉතිහාසය. දැන් එතකොට දුම්රිය මාර්ගවල ඉතිහාසය ගැනත් ටිකක් විතර කියන්න එපෑය............. 

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීම සම්බන්ධ මූලික මිණුම් කටයුතු අවසාන වෙලා පළවෙනියාටම දුම්රියක් ධාවනය කරන්නේ 1864 අවුරුද්දේ. එතැන් ඉදන් මහනුවර, යාපනය, බදුල්ල, මාතලේ, මඩකළපුව වගේ නගර වෙත දුම්රිය මාර්ග පද්ධති ඉදිවෙන්න ගන්නවා. කලින් මම කීව දුම්රිය මාර්ගවල ඉතිහාසය කියන අනු කොටසට අයිති වෙන්නේ ඔය විදිහට නිර්මාණය කරපු දුම්රිය මාර්ගවල ඉතිහාසය ගැන හොයන එක. ඒකත් එක්තරා විදිහක විනෝදාංශයක් තමයි. 


1858 අවුරුද්දේ දී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීම වෙනුවෙන් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරතුමන් විසින් පළමුවැනි පස්පිඬැල්ල කපපු අවස්ථාවේ චිත්‍රයක්.
මේක තියෙන්නේ 1916 අවුරුද්දට අදාළ දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන වාර්තාවේ.

ඉතින් විශේෂයෙන්ම කියන්ටෝනි; අපේ රසික අයියා මෙදා සැරේ ලියපු සබරගමුව දුම්රිය කියන පොතෙන් උත්සාහ කරන්නේ දැනට වැහිලා ගිහින් තියෙන සබරගමුව දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා කොටස ගැන පාඨකයන්ගේ අවධානයට යොමුකරවන්න. අන්තර්ගත පිටු 140 ක් පරිච්ඡේද 9 ක් ඇමිණුම් 4 ක් ඡායාරූප 53 ක් දුම්රිය මාර්ග සිතියම් හා දුම්රිය ස්ථානවල සැලසුම් 19 ක් එක්ක ලියැවෙලා තියෙන මේ පොත් වඩාත් අඟය කරන්නම ඕන කාරණය තමයි; එකපාරටම තමන්ගේ මාතෘකාව ගැන සෘජුවම කතාකරනවාට වඩා ලංකාවේ දුම්රිය සේවයේ ආරම්භය, පටු ආමාන දුම්රිය ගැන කරන හැඳින්වීම හරහා පාඨකයාට කෘතිය ගැන පෙර අවබෝධයක් ලබාගන්න අවස්ථාව සලසාදීලා තියෙන එක. ඇත්තටම කීවොත් පටු ආමාන හා පුළුල් ආමාන ගැන මේලෝ දෙයක් දන්නේ නැති කෙනෙකුට වුණත් මේ පොතෙන් ඒ දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන්. 

පොතේ පටුන.

ඒ වගේම අන්තර්ගත වෙලා තියෙන සමහර ඡායාරූප සමහර විට ජීවිතේ පළවෙනි වතාවට දකින්න ලැබෙන ඒවා. මේ නිසා පොතේ වටිනාකම තවත් වැඩි වෙනවා කීවොත් නිවැරදියි. සබරගමුව දුම්රිය මාර්ගය වැසී යාම ගැන වත්මන් සමාජයේ (විශේෂයෙන්ම මුහුණු පොතේ) සංසරණය වෙන්නේ තරමක් දේශපාලනීකරණය වෙච්ච කරුණු. හැබැයි. රසික අයියාගේ මේ පොතේ 6 වැනි පරිච්ඡේදය සබරගමුව දුම්රිය මාර්ගය වැසී යන්න බලපාන්නට ඇතැයි කියලා විශ්වාස කරන්න පුළුවන් තොරතුරු සම්බන්ධයෙන් බොහොම තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරනවා. විවෘත්ත මනසකින් මේ ගැන හිතන කෙනෙකුට නම් ඒක බොහොම වැදගත් වෙයි. 

ඊළඟට ගත්තොත් පොතේ 71 වැනි පිටුවත් බොහොම වැදගත් තැනක්. සංක්ෂිප්තව වුණත් වහලා දාපු දුම්රිය මාර්ගයේ ඉතිරිව තියෙන ගොඩනැගිලි වර්තමානයේ භාවිතා කරන ආකාරය ගැන යම් පමණක අවබෝධයක් ගන්න පුළුවන් එතැනින්. අපේ රටේ පටු ආමාන දුම්රිය මාර්ගවල ධාවනය වෙච්ච සෑම ආකාරයකම දුම්රිය එන්ජින්, රේල් කාර් ආදිය ගැනත් ඡායාරූප සහිත විස්තරයක් මේ පොතෙන් ඉදිරිපත් කරලා තියෙන එකත් විශේෂයෙන්ම අඟය කරන්න ඕනි කාරණයක්. 



ඇතුළේ තියෙන දුර්ලභ පොටෝ සහ වටින විස්තර.

ඇත්තම කීවොත් බොහෝම සුළු ප්‍රමාණයේ ව්‍යාකරණ දෝෂ කිහිපයක් හැරෙන්නට මේ පොතේ නොසලකා හරින්න පුළුවන් කාරණයක් නැති තරම්. තියෙන හැම කාරණයක්ම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මුද්‍රණයේ ගුණාතමක බව. රුපියල් 1200ක් වගේ මුදලකට මේ වගේ ගුණාත්මක තත්වයක පොතක් එළිදැක්වීම ම බොහොම වටිනවා (වට්ටම් සහිත මිල රුපියල් 900 යි). සටහන අවසන් කරන්න ලැහැස්ති වෙන අතරේ; ලොකු වෙනසක් එක්කම මේ පොතේ දෙවැනි මුද්‍රණයත් ඉක්මණින්ම එළිදක්වන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම තවත් මේ වගේ පොතක් ලියන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි ඉතින් කර්තෘතුමාගෙන්.

මේ පොත සම්බන්ධයෙන් නිර්මාණය වෙච්ච වීඩියෝ වැඩසටහනකට මෙන්න මෙතැන තියෙන ලින්ක් එකෙන් යන්න පුළුවනි. පැයකට වඩා පොඩ්ඩක් වැඩි ඒ වැඩසටහනක් කොටස් වශයෙන් හිමිහිට බලන්න. එතකොට සබරගමුව දුම්රිය පොත ගැන තවත් හොද අවබෝධයක් ගන්න පුළුවන්කම ලැබේවි.

ඒ වගේම මුලින්ම කියන්න හිතාගෙන හිටියට අමතක වෙච්ච කාරණාවක් අවසානයට සඳහන් කරන්න කැමතියි ඌණ පූර්ණයක් විදිහට. මොකක්ද කීවොත්; පොතේ පිටකවර නිර්මාණය. ඕනෑම පොතක අන්තර්ගතයට කලින් පාඨකයන්ගේ ඇස් යොමුවෙන්නේ පිටකවරයට ඉතින් මේ පොතේ පිටකවරය හැඩවෙලා තියෙන්නේ ඉමාෂි ඕපාත මහත්මිය අතින්. ඒ පිටකවර සැලසුම පොතේ වටිනාකම දෙගුණ තෙගුණ කරන්න සමත්වෙලා තියෙන වග නම් ලෝභ නැතුව කියන්න පුළුවන්.



පොත අරගෙනම කියවන්න ඕන නම් මෙතැනින් යන්න.

සැලකිය යුතුයි; ඉහත සඳහන් සියලුම ඡායාරූප කර්තෘවරයාගේ අවසර ඇතිව පළකරන ලදි.

Monday 22 May 2023

72 ට 51 යි.


1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරපු දවසේ නිකුත් වෙච්ච දිණමිණ පත්තරේ මුල් පිටුව.


වෙනදට ඉතින් සාමාන්‍යයෙන් ආපු ගියපු තැනක් ගැන හරි කෝච්චියක් ගැන හරි තමයි බ්ලොග් එකට පෝස්ට් එකක් ලියන්නේ. හැබැයි ඉතින් මෙදා පොටේ වෙනසකටත් එක්ක ටිකක් විතර වෙනස් විදිහේ පෝස්ටුවක් දාන්න හිතුණා. "72 ට 51 යි" කියන හෙඩිම දැක්ක හැටිය කට්ටිය කල්පනා කරනවා ඇතිනේ මොකක්ද ගැනද මේ මනුස්සයා මේ කියන්න යන්නේ කියලා............... මොකක් ගැනවත් නෙමෙයි. මෙදා කියන්න යන්නේ නිදහස් ලංකාවේ පළමුවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව; එහෙමත් නැතිනම් 1972 ජනරජ ව්‍යවස්ථාව ගැන. 2023 මැයි මාසේ 22 වැනිදාට 1972 ව්‍යවස්ථාව සම්මත වෙලා අවුරුදු 51කුත් වෙනවා. වැඩිපුර අටුවා ටීකා නැතිව හොයලා බලමු එහෙනම් 1972 පළමුවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන.


1970 මහ මැතිවරණයට ඉඳිරිපත් වෙන සමඟි පෙරමුණු රජයේ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය තමයි ඉතින් ඔය සමඟි ආණ්ඩුවේ නියෝජිතයෝ) ප්‍රධානතම ඡන්ද පොරොන්දුවක් වෙලා තිබුණේ ලංකාවට ස්වාධීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දෙනවාය කියන එක. 1970 මහමැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේත් ඔය කීව සමඟි පෙරමුණු රජයම තමයි. තමන් ලබපු ජයග්‍රහණයෙන් පස්සේ පෙරමුණේ නායිකා විදිහට කටයුතු කරපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දෙවැනි වතාවටත් ලංකාවේ අග්‍රාමාත්‍යවරිය විදිහට දිවුරුම් දෙනවා. එතැනින් පස්සේ තමන්ගේ වැදගත්ම මැතිවරණ පොරොන්දුව වෙච්ච මේ කීව ව්‍යවස්ථාව සැකසීම සඳහා වෙනම ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ධූරයක් පිහිටුවලා ඒ තනතුර ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙක් වුණ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාට පිරිනමන්න කටයුතු කරනවා විතරක් නෙමෙයි 1970 අවුරුද්දේ ජූලි මාසයේ 19 වැනිදා උදෑසන 11ට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ පළමු රැස්වීම කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහල පරිශ්‍රයේ දී පවත්වන්න කටයුතු කළා කියලා ලංකාවේ දේශපාලන ඉතිහාසය ඇතුළේ සඳහන් වෙලා තියෙනවා දැකගන්න පුළුවන්. මේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත්වෙන්නේ ස්ටැන්ලි තිලකරත්න මහත්මයා.


1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමතිවරයා වූ කොල්වින් ආර්. ද සිල්වා මහතා.

මෙන්න මේ විදිහට තමන්ගේ පළමුවැනි රැස්වීම පවත්වන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවස්ථා කිහිපයක දීම නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා රැස් කළ බවත්, එකී කරුණු වැඩිදුර සාකච්ඡා කරමින් අදාළ වෙනස්කම් සිද්ධ කරපු බවත් 1972 මැයි 22 වැනිදා නිකුත් වෙච්ච දිනමිණ පුවත්පතේ 5, 6 සහ 7 වැනි පිටුවල සඳහන් වෙන්නේ මේ විදිහට;

  • 1970 ජූලි 11 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස්විය යුතු දිනය, වේලාව හා ස්ථානය දක්වමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් නිවේදනයක් නිකුත් කිරීම.
  • 1970 ජූලි 19 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ පළමු රැස්වීම (කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහල පරිශ්‍රයේ දී).
  • 1971 මාර්තු 14 නව ව්‍යවස්ථාව වෙනුවෙන් සඳහා මහජනතාවගෙන් ඉඳිරිපත් වූ ප්‍රාථමික යෝජනා සාකච්ඡා කිරීම.
  • 1971 ජූලි 10 පළමු අවස්ථාවේ ඉඳිරිපත් වූ ප්‍රාථමික යෝජනා ඇතුළත් කෙටුම්පත සම්මත කිරීම.
  • 1971 දෙසැම්බර් 29 පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සැකසීම.
  • 1972 ජනවාරි 01 පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීම.
  • 1972 ජනවාරි 06 සිට මාර්තු 31  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය උප කමිටු 6ක් වශයෙන් රැස්වී සම්මත කළ ව්‍යවස්ථා කෙටුම්පතේ එක් එක් කොටස් වඩාත් සවිස්තරව විග්‍රහ කිරීම.
  • 1972 මැයි 08 සිට මැයි 12 දක්වා අවසන් සංශෝධන ඇතුළත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රධාන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉඳිරිපත් කිරීම.
  • 1972 මැයි 18 අවසන් සංශෝධන ඇතුළත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රධාන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් අනුමත කිරීම.
  • 1972 මැයි 22 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාව තුළ ක්‍රියාත්මක වීම.


ජනරජ මුද්දරය හා මුල්දින කවරය.

මෙන්න මේ විදිහට සකස් කරළා අවසන් කරපු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නිල රාජ්‍ය උත්සවය 1972 මැයි 22 වැනි සදුදා දින කොළඹ රාජකීය විදුහලේ නවරඟහල පරිශ්‍රයේ දී පැවැත්වීමෙන් අනතුරුව එදිනම දහවල් 12.43ට යෙදුණු සුභ මොහොතේ සිට ලංකාවේ නිල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වශයෙන් පිළිගැනීම ආරම්භ කරනවා. පරිච්ඡේද 16ක් මේ ව්‍යවස්ථා පොතේ ඇතුළත්. නව ව්‍යවස්ථාව මඟින් සිදුකරපු ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පහතින්;

  1. ලංකාවේ නාමය ශ්‍රී ලංකාව ලෙස වෙනස් කිරීම.
  2. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ජනරජය යන නිල නාමයෙන් හැදින්වීම.
  3. ලංකාව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ පැවති සියලුම බැඳීම් අවසන් කිරීම.
  4. ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී හා ඒකීය ජනරජයක් ලෙස ස්ථාපනය කිරීම.
  5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වශයෙන් පිළිගැනීම.
  6. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන නම ජාතික රාජ්‍ය සභාව වශයෙන් සංශෝධනය කිරීම.
  7. අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කිරීම හා නාමික ජනාධිපති ධූරය ස්ථාපිත කිරීම.
  8. පරමාධිපත්‍යය බලය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පිරිනැමීම.
  9. බුද්ධාගමට හා සිංහල භාෂාවට ප්‍රමුඛ ස්ථානයක් ලබා දීම.
  10. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් ව්‍යවස්ථාවට එකතු කිරීම.

 


1972 ව්‍යවස්ථාව සම්මත කරන මොහොතේ අපේ රටේ අග්‍රාණ්ඩුකාරවරයා විදිහට හිටපු විලියම් ගොපල්ලව මහත්මයාව නාමික ජනාධිපතිවරයා වශයෙන් පත්කරනවා.


1948 දී ලබා ගත්ත ඩොමීනියන් තත්වයේ නිදහසින් පසුව ලංකාවේ ක්‍රියාත්මක කරපු පළමුවැනි ස්වාධීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වුණේ මේ කීව 1972 පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරපු දවසේ මුළු රටම උත්සවීය දිනයක් විදිහට මේ දවස සැමරුවා. ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අලුත් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කළා වගේම ශ්‍රී ලංකා පිඟන් සංස්ථාව විසින් සමරු ඵලකයක් නිකුත් කරන්නත් කටයුතු කරළා තිබුණා. ඒ විතරකුත් නෙමෙයි බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික සිද්ධස්ථානවලත් අලුතින් ආරම්භ වෙච්ච ජනරජයට සෙත් පතමින් වැඩසටහන් රාශියක්ම පවත්වන්නට යෙදුණු බව ඒ කාලයේ පැරණි පුවත්පත් පරිශීලනයේ දී දැකගන්න පුළුවන්.

 

                    දළඳා මැදුරේ බුදුරැස් විහිදේ ආසිරි මල් වරුසා                       ගුවනේ

                    සක්හඬ බෙරහඬ ඔල්වරසන් මැද තුති ගී රැව් පැතිරේ             පවනේ

                    නිදහස් නිවහල් හැඟුම් මැවෙනවිට දහසක් මල් පිඹිදේ           දෙරණේ

                    සව්සිරි සම්පත් පැතුම් උදාකර ජනරජ දෙව්දුව පෙර                ගමනේ

ඔන්න ඔය විදිහට ජනරජය බිහිවීම ගැන 1972 මැයි 22 දිනමිණ පුවත්පතේ මුල් පිටුවේම වර්ණනා කරළා තියෙනවා.

 

1972 ව්‍යවස්ථා සම්පාදනයේ කතාවෙන් කොටසක්. දිනමිණ පුවත්පත; 1972/05/22


ජනරජය බිහිවීමට සමඟාමීව අපේ රටේ ජාතික කොඩියේ කොන් හතරෙ තිබිච්ච බීරළු හතර අයින් කරළා ඒ වෙනුවට බෝ කොළ සලකුණු 04ක් එකතු කරන්නටත් කටයුතු සලස්වනවා. මේ විදිහට අලුත් පෙනුමක් ගත්ත ජාතික කොඩිය 1972 මැයි 24 වැනි බදාදා දින සවස 1.47 ට මහනුවර ඓතිහාසික මහ මලුව අභියස දී පවත්වන ලද ජනරජ දින ජාතික උත්සවයට සමඟාමීව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අතින් පළමු වතාවට ගුවනට මුදා හරින්නට කටයුතු කළ බවයි සඳහන් වෙන්නේ.


බීරලු හතර අයින්වෙලා බෝ කොළ හතර එකතු වෙන සිද්ධිය කියන පුවත්පත් වාර්තාව.



ජනරජය පිහිටුවා වසර 50ක් ගතවීම නිමිත්තෙන් 2022 වසරේ දී නිකුත් කළ තැපැල් මුද්දරය හා මුල්දින කවරය.

ඉහත ඡායාරූප සියල්ලම මාගේ පෞද්ගලික එකතුවේ තිබෙන මුද්දර හා පුවත්පත් මඟින් ලබාගත් ඒවා බව සැලකුව මනාය.


ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපත

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත

මෙම ලිපිය සැකසීම සඳහා වන සියලුම තොරතුරු උපුටාගත් මූලාශ්‍ර පහත පරිදිය.

  • දිනමිණ පුවත්පත; 1972/05/22
  • ඉතිහාසය පෙළපොත/ 9 වසර/ පැරණි නිර්දේශය.
  • කැළණිය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය හසිත චාමිකර මහතා මුහුණු පොතේ තබපු සටහන.

Sunday 1 January 2023

2023 ගෞරවයෙන් පිළිගනිමි.


වට්සැප් මඟින් මා වෙත ලැබුණු ඡායාරූපයකි. අයිතිය මුල් හිමිකරුවන් සතුය.

මාස කිහිපයක් තිස්සේම අලුත් පෝස්ටුවක් බ්ලොග් එකට එකතු කරන්න මඟ බලාගෙන හිටියේ. හැබැයි ඉතින් නානාගේ සහ චීනාගේ කෙළිවලින් වර්ෂ ගණනාවක් පුරාවටම ඇදි ඇදී ආපු විශ්වවිද්‍යාල අවසාන පරීක්ෂණ වගයකට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච නිසා හිතාගන්න බැරි තරමටම වැඩ ගොඩකට හිර වුණා. කොටින්ම කීවොත් මාස 03ක් වගේ කෙටි කාලයක් ඇතුළේ දී ඩිප්ලෝමා පරීක්ෂණයක විෂයන් 06කටත්, උපාධි පරීක්ෂණයක විෂයන් 05කටත් මුහුණ දෙන්න වුණා. හරියටම අගෝස්තු මාසයේ ආරම්භ වෙච්චි ඩිප්ලෝමා විභාග කාලපරිච්ඡේදය අවසන් වුණේ සැප්තැම්බර් මාසයේ මැද භාගයේදී. එතැනින් පස්සේ උපාධි පරීක්ෂණය තිබ්බා. ඒක ඔක්තෝම්බර් මාසයේ පටන් අරගෙන ඉවර වුණේ නොවැම්බර් දිහා. දෙවැනි ඩිප්ලෝමාවේ අධ්‍යයන කටයුතු ටිකත් දෙසැම්බර් අන්තිම වෙද්දී ඉවර කරගන්න පුළුවන් වෙච්ච එක හිතට ලොකු සහනයක්. මොකද ඒවා ඇදි ඇදී ආව විදිහ මතක් වෙනකොටත් ඔලුව කැක්කුමයි වගේ මට.


අපේ රටේ තැපැල් ඉතිහාසය ඇතුළේ පළවෙනි තැපැල්පත (Post Card) නිකුත් කරලා අවුරුදු 150ක් වුණා ගෙවිච්ච 2022 අවුරුද්දට.

පහුවුණ 2022 වර්ෂයේ රටේ තිබ්බ සමාජීය සහ දේශපාලන තත්වයන් ගැන අමුතුවෙන් සටහන් කරන්න නම් අදහසක් නැහැ. මොකද ඉතින් කවුරු කවුරුත් ඒ ගැන දැනුවත් නිසා. සුපුරුදු පරිදි මගේ විනෝදාංශයක් වෙච්චි දුමිරිය සේවය ගැන පොඩ්ඩක් විතර කතා කරන්න ඕන ඉතින්. නැතිනම් ඒක ලොකු අඩුපාඩුවක් වෙන නිසා. ඒ අවුරුද්දේ දුම්රිය අපේ දුම්රිය සේවයේ සිද්ධ වෙච්ච විශේෂ වැදගත් සිදුවීමක් තමයි කුරුණෑගල සහ වැල්ලව අතර කොටසේ ටැබ්ලට් සංඥා ඉවත් කරලා අලුත් වර්ණාලෝක සංඥා ක්‍රමයකට හුවමාරු කරපු එක. ඒ කියන්නේ දැන් කුරුණෑගල සහ වැල්ලව අතර කොටසේ ටැබ්ලට් නැතුව Color Light ක්‍රමයට කෝච්චිවලට යන්න පුළුවන්. මාත් එක්ක අපායට වුණත් යන්න එන රුසිත්, තිසර, අමිල සහ අමතක කරන්න බැරි අපේ අක්කපාන ප්‍රාර්ථනා එක්ක ටිකක් වැඩිපුර රට වටේ ඇවිදින්න යන්න පුළුවන් වුණා. ඒ ගමන් අතරින් සුපිරිම කට්ටක් කන්න සෙට් වුණේ පොසොන් පෝය දවසේ මහව ගිය ගමනේදී.


ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය කරන අංක 6011 එක්ක මහව යන අතරතුරයේදී.

සාමාන්‍යයෙන් උතුරු මාර්ගයේ මහව දක්වාත්, නැගෙනහිර මාර්ගයේ පොළොන්නරුව, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වාත් යන ගමනකදී මඟී නිත්‍ය ප්‍රවාහන සහකරු වෙන්නේ ඔය දුම්රිය තමයි.


ජීවිතේ පළවෙනි වතාවට රේල් හයික් එකක් යන්න පුළුවන් වුණෙත් පහුවුණු 2022 අවුරුද්දේ දී. ඒ මගේ හිතවත් සුභාෂ් අයියා එක්ක මාතලේ දුම්රිය මාර්ගයේ උඩතලවින්න සහ පතන්පහ දුම්රිය ස්ථාන අතර කොටසේ. ඒකත් අලුත් අත්දැකීම් ගොඩක්ම ගන්න පුළුවන් වෙච්ච සිද්ධියක්. ඔය උඩ පොටෝව ගත්තේ ඒ ගමන ගිහින් 1020 කෝච්චියේ ආපහු කොළඹ එන ගමන්.


බලපිටිය ගිය වෙලාවක අහම්බෙන්ම දෙසැරයක් මැරිලා ඉපදිච්ච රේල්ලුවේ ෆීනික්ස් කුරුල්ලෙක්ව කැමරාවට අහුකරගන්න පුළුවන් වුණා.


මඟින් සවන්දෙන්න,
මේ මහව සන්ධිය දුම්රිය ස්ථානයයි, මේ මහව සන්ධිය දුම්රිය ස්ථානයයි.

දැන් පළමු වැනි වේදිකාවට පැමිණියේ ගල්කිස්ස සහ කොළඹ කොටුව සිට අනුරාධපුර, මැදවච්චිය හන්දිය, යාපනය සහ කන්කසන්තුරය දක්වා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රියයි. ..................

අවුරුද්දේ අතරමැද දී ශ්‍රාවස්තිපුර යන්නත් පුළුවන් වුණා. ඒ ගමන නම් තනියම තමයි මට යන්න සිද්ධ වුණේ.

ශ්‍රාවස්තිපුර පැරණි දුම්රිය ස්ථාන ගොඩනැඟිල්ල.

ඒ විතරක් නෙමෙයි. ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේ පැරණි නම තමයි "රත්මලේ" කියන්නේ.
මේ ගොඩනැඟිල්ල තියෙන තැන ඉදන් මීටර 200 ක් විතර අනුරාධපුර පැත්තට වෙන්න තමයි අලුත් දුම්රිය ස්ථානය 1970 වර්ෂයේ ඉඳිකරන්නේ "ශ්‍රාවස්තිපුර" කියන නමින්.
දැන් මේ පැරණි ගොඩනැඟිල්ලේ උප තැපැල් කන්තෝරුවක් පවත්වාගෙන යනවා.


ශ්‍රාවස්තිපුර පැරණි දුම්රිය ස්ථානයේ ටිකට් කවුන්ටරය.

රට වටේ ඇවිදලා ඉවර වෙන්නත් කලින් එක්සෑම් සීසන් පටන් ගත්තා නේ.............,
ඒ ගැන උඩින් ලියලා තියෙන නිසා අමුතුවෙන් මෙතැන විස්තර කරන්න යන්නේ නැහැ. 


0000 තියෙන කෝච්චි ටිකට් එක.
කාලයක් තිස්සේ හොය හොයා හිටපු ටිකට් එකක් ලැබුණා. 

2022 අවුරුද්දේ අවසාන චාරිකාව ගියේ පහුගිය දෙසැම්බර් 26 වැනිදා අංක 8050 සුනාමි සංවත්සර දුම්රියත් එක්ක. බෙලිඅත්ත දක්වා යන්න අපි කට්ටිය සැලසුම් කරගෙන හිටියත් අනපේක්ෂිත විදිහට කෝච්චිය පැයක විතර ප්‍රමාදයක් සහිතව තමයි ගමන් ආරම්භ කළේ මරදානෙන්. ඒ නිසා ගමන අතරමඟින් නවත්වන්න සිද්දවුණා. ඒ මාතරින්. ආපහු මාතරින් හවස 1/40 කෝච්චියේ ගාල්ලට ඇවිත් එතැනින් අධිවේගී මාර්ගයේ තමයි ගෙදර ආවේ. පුදුමයට කාරණාව මාත් එක්ක ගිය අපේ අමිල උන්දෑ එදා තමයි ජීවිතේ පළවෙනි වතාවට හයිවේ බස් එකක ගිහිල්ලා තියෙන්නේ.


සුනාමියෙන් මියගිය සහෘදයන් සිහිපත් කිරීම වෙනුවෙන් විනාඩි 10කට පැරෑලියේ සුනාමි ස්මාරකය අභියස ඉසිඹුලන අංක 8050 දරණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය, එදා සුනාමියට අහුවුණු 591 එන්ජිම සමඟ.


සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්.

රේල්ලුව ගැන සමස්ථයක් විදිහට කතා කළොත් අවලංගුවීම්, පීළි පැනීම්, කාර්මික දෝෂ සෑහෙන්න සිද්ධ වෙච්ච අවුරුද්දක් තමයි 2022 කියන්නේ. නව ගාස්තු සංශෝධනයකුත් සිද්ධවුණා ඒ අස්සේ. ඒ වගේම ඔඩෙසිමේනියාව රේල්ලුවට තදින්ම වැළඳිලා නිසා බදුල්ල, අනුරාධපුර, මහනුවර කියන ගමනාන්තවලට අලුත් නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක්ම එකතු වුණා. කාර්යාල සේවා සහ සාමාන්‍ය දුරගමන් සේවා වාරවල ප්‍රශස්ථ මට්ටමේ නවීකරණයක් නම් වුණේ නැහැ රේල්ලුව පැත්තෙන්. ඒ නිසා සාමාන්‍ය දුම්රියවල යන මඟීන්ට හුලං තමයි. (දැන් කියන්න එපා "අපි පොල්ගහවෙල - මහව රේල් බස් එක ආයෙම පටන් ගත්තා" කියලා).


රුපියල් 10ට තිබ්බ Platform Ticket එකත් රුපියල් 20ක් වුණා ඉතින් අන්තිමට.

පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත්, අවුරුද්ද මුලදීම අලුත් රැකියාවේ වැඩ බාරගන්න පුළුවන් වුණා. විභාග ටික ඉවර වෙනවත් එක්කම ආච්චි අම්මට අසනීපවෙලා සෑහෙන්න කලබගෑනියක් වුණා. ඊටත් කලින් ඩිප්ලෝමා පරීක්ෂණය යන කාලය අතරතුරයේදීම අවුරුදු 05ක් මාත් එක්ක හිටපු හුරතලා වෙච්ච මිකී මට නැතිවුණා හදිසියේම. එදා නම් හරිම දුක්බර දවසක් කීවොත් නිවැරදියි මම.


2022 සැප්තැම්බර් 22 වැනිදා මාව දාලා ගියපු මිකී.

ඩීසල් පෝලිම්, පැට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම් කියලා පෝලිම් උප සංස්කෘතියකුත් අපේ රටේ ඇතිවුණා කියන්නකෝ ඔය අස්සේ.


භූමිතෙල් පෝලිමේ සිට.


ඩීසල් හා පැට්‍රල් පෝලිම්.

ඔය අස්සේ මගේ උපන්දිනය දවසේ අපේ ගෙදර උදවිය මාව සෙප්රයිස් කරන්න හිතාගෙන පොඩි උත්සවයකුත් ලෑස්ති කරලා තිබ්බා. ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙච්ච අම්මා, තාත්තා, අක්කපාන ඇතුළු හැමෝටම බොහොම තුති.

සමස්ථයක් විදිහට ගත්තොත්, 2022 අවුරුද්ද සාමාන්‍ය විදිහට පටන් ගත්තත් හිතාන්න බැරි තරම් ආර්ථික සහ දේශපාලන අස්ථාවර තත්වයක් රටේ ඇතිවුණ නිසා ඒක හැමෝටම බලපෑවේ ඉතාමත් අහිතකර විදිහට.

ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් එංගලන්තයේ එලිසබත් මහරැජිණගේ අභාවය ගැන ලෝකයම කතාබහ කරපු අවස්ථාවක් වුණා. ඕවා ඉතින් කවුරු කවුරුත් දන්න සිද්ධි නිසා වැඩි වැල්වටාරම් ලියන්නේ නැහැ.

බලුපැටියා නැතිවුණත් හරි ගෙදරම පාලුයි. ඒ නිසාම තවත් එක්කෙනෙක්ව අරගෙන ආවා. ඇත්තටම එයාව අපේ අම්මට තෑග්ගක් විදිහට තමයි ලැබුණේ.


පිළිගන්න මිතුරනි, තුන්වැනි මිකී උතුමාණන් වහන්සේ .........................!

ඔන්න ඔහොම 2022 අවුරුද්ද ඉවර වෙනකොට බලාගෙන ඉද්දීම 2023 ආවා ඉක්මණින්ම. වෙන අවුරුදුවලදී වගේම මේ අවුරුද්දේත් ආරම්භයේදීම කියන්න තියෙන්නේ කාට කාටත් ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලාම තමයි. 2023 කට්ටියට සුබ වෙන හැටි 2024 මුලදී මේ වගේම බ්ලොග් සටහනකින් හොයලා බලමු ඉතින්.

මේ අවුරුද්දේදීත් සම්පූර්ණ කරගන්න තියෙන වගේම යන්න තියෙන ගමන් එහෙමත් බොහෝමයි. ඒ ගැන පුළුපුළුවන් වෙලාවක පොඩි බ්ලොග් සටහනක් තියන බලාපොරොත්තුවෙන් දැනට නවතින්නම්. ආයෙමත් කියන්න තියෙන්නේ හැමදෙනාටම ලැබුවාවූ 2023 නව වසර වෙන්න ඔන කොහොමද, ඒ විදිහටම සියලු පැතුම් ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා.

සුබ දවසක්!

Sunday 7 August 2022

මම දෑවැද්ද අරගත්ත හැටි.

ගමන් ආරම්භයට සූදානමින් මඩකලපුව දක්වා යන අංක 6011 උදය දේවී දුම්රියේ සිට.

ටිකක් විතර දිග නිහැඬියාවකට පස්සේ අද බ්ලොග් එකට පොඩි සටහනක් ලියන්න හිතුවා. මීට කලින් වෙසක් එකට, පොසොන් එකට එහෙමත් බ්ලොග් සටහනක් ලියන්න හිටියත් මොකක්දෝ හිතාගන්න බැරි හේතුවක් නිසා ඒ වැඩේ අතපසුවෙලා ගියා එහෙම්ම. මේ වතාවේ ලියන්න ලැහැස්ති වෙන්නේ මම දෑවැද්ද අරගත්ත හැටි ගැන.

ගමන අතරතුර දී.

අනුරාධපුර සිට එන රජරට රැජිණ එනකම් කුරුණෑගල ගිමන් හරින උදය දේවිය.

ඔය දෑවැද්ද කියන වචනය දැක්ක හැටිය බොහෝමයක් දෙනාට මතක් වෙන්නේ මොකක්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ මම. ලංකාව ඇතුළේ සිද්ධ වෙන විවාහ කටයුත්තක දී මානාලියගේ පාර්ශවයෙන් මනාලයාගේ පාර්ශවයට දෙන තෑග්ග, දායාදය එහෙමත් නැත්නම් දීමනාව හදුන්වන්නේ දෑවැද්ද කියන නමින්. සිංහලෙන් කතාකරන ගමන් සමහර උදවිය පොෂ් වෙන්න හිතාගෙන ඉංග්‍රිසියෙන් ඩවුරි (Dowryඑක කියලා කියන්නෙත් ඔය දෑවැද්ද ගැනම තමයි. අපේ සංස්කෘතික වපසරිය ඇතුළේ බොහෝම ලොකු ඉතිහාසයක් මේ දෑවැද්ද කියන දෙයට තියෙනවා. ඒක ගැන වෙනම කතා කරන්න ඕන දෙයක්. දේපළ, මුදල්, යානවාහන, ආභරණ, ඉඩකඩම් වගේ දේවල් ඔය දෑවැද්ද දෙන්න බහුලවම පාවිච්චි කරනවා දැකගන්න පුළුවන්.

පළවෙනි ගමනාන්තය වෙච්ච මුත්තෙට්ටුගල.

ඔය පොටෝව ගත්තේ මාර්ග අංක 48 කොළඹ - මඩකළපුව පාරේ එහා පැත්තේ ඉඳන්.

ඇත්තටම ඉතින් කෝච්චියේ ඇවිත් කුරණෑගල ස්ටේෂන් එකෙන් බැහැලා කුරුණෑගල ටවුන් එකට යනවට වැඩිය ලේසියි මෙතනින් බැහැලා කුරුණෑගල ටවුමට යන එක.

කොහොම වෙතත්, මම කියන්න ලැහැස්ති වෙච්ච දෑවැද්ද අරගත්ත හැටිය නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මේක සිද්ධ වුණේ පහුගිය දවසක මම කුරුණෑගල ප්‍රදේශයට තරමක් එහියින් තියෙන වැල්ලව කියන ගම පැත්තට ගිය වෙලාවක. සුපුරුදු විදිහටම මගේ ගමන් සඟයා වුණේ කෝච්චියම තමයි ඉතින්. කොළඹ කොටුවෙන් උදේ 6.05ට ධාවන අංක 6011න් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දක්වා යන උදය දේවි කෝච්චියේ මුත්තෙට්ටුගලට ගිහින් ඒ වටපිටාවේත් ටිකක් ඇවිදලා එහෙම ඇවිත් එතැනින් ආයේම නැගගත්තා මහව දක්වා යන බේබි කෝච්චියේ. වැල්ලවට යන බලාපොරොත්තු ඇතිව.

මුත්තෙට්ටුගලට ආපු මහව බේබි කෝච්චිය.

එන්ජිමත් එක්ක තුන්වැනි පන්තියේ මඟී මැදිරි තුනයි මේකට තිබ්බේ.



මහව බේබිය සමඟ වැල්ලව දෙසට.



දුම්රිය එන්ජිම සහ මැදිරි සම්බන්ධ වෙන්නේ මේ වගේ කප්ලිමකින්.

වැල්ලව දුම්රිය ස්ථානය කියන්නේ ලංකාවේ උතුරු දුම්රිය මාර්ගය හදපු මුල් අවධියේ දී ම ඉඳිකරපු දුම්රිය ස්ථානයක්. පැරණි ගොඩනැඟිල්ලම තමයි තාම දුම්රිය මෙහෙයුම් කටයුතු වෙනුවෙන් භාවිතයට ගන්නේ. ප්‍රධාන වේදිකාවට අමතරව තවත් දෙවරනි හා තෙවැනි වේදිකාවකුත් වැල්ලව දුම්රිය ස්ථානයේ ඉඳිකරලා තියෙනවා දැකගන්නට පුළුවන්. ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම නිසා බොහෝම සිත්ගන්නාසුළු තත්වයකින් දුම්රිය ස්ථානය නඩත්තු කරගෙන යන බව නම් පේනවා එතැනට යන ඕනම කෙනෙකුට. ඉතින් ඒ පිරිසිදුකම දිගටම තියාගන්න අවශ්‍ය දායකත්වය මඟීන් වෙච්ච අපේ පැත්තෙනුත් ඒ අයට අඩුවක් නැතිව ලැබුණොත් ඒක බොහොම වටින බව මතක් කරන්න කැමතියි. 

මගේ ගමනාන්තය වුණ වැල්ලව දුම්රිය ස්ථානය.

පොඩි ජනකවියකුත් මතකයට ආවා මේත් එක්කම වැල්ලව ගැන. මේ කවියේ විශේෂත්වයකුත් තියෙනවා. ඒක හොයාගන්න පුළුවන් වුණොත් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. . . . . . .

                    
                    වැල්ලව වෙලේ වේවැල්වල                වවුල්ලු
                    විල්වල වේලිවල වැව්වල                    ලූල්ලු
                    වැල්ලව වලව්වේ ලී ලෝලු                 ලෑලි ලු
                    වැල්ලව වෙලේ වී ලෑවේ                    වාල්ලු

වැල්ලව කියන්නේ දැනට ටැබ්ලට් සහ සෙමෆෝ සංඥා භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු කරන දුම්රිය ස්ථානයක්. හැබැයි ආරංචි හැටියට ඉතාමත් ඉක්මණින්ම ඒ පැරණි ක්‍රමයට සමුදෙන්න මේ දුම්රිය ස්ථානය සූදානම්. මම එතැනට යද්දීත් වර්ණ සංඥා ක්‍රමයට දුම්රිය ඇතුළු කරන්න හා පිටත් කරන්න පුළුවන් වෙන විදිහට අවශ්‍ය යාවත්කාලීන කිරීම් කරලා ඒවා පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක වෙමිනුයි තිබ්බේ. ටැබ්ලට් ක්‍රමයත් ඉතාම ඉක්මණින්ම වැල්ලවට සමුදේවි. තාක්ෂණයත් එක්ක අපිත් ඉස්සරහට යන්න එපැයි ඉතින්. හැමදාම එකම තැන ඉන්නත් බැහැනේ.

සේවයෙන් සමුගත්ත වැල්ලව සෙමෆෝ සිග්නල් කණුවක්.

ඔය ටිකක් ඉස්සරහාට වෙන්න වම් පැත්තේ පේන්න තියෙන්නේ අළුතෙන් දාපු වර්ණ සංඥා කණුවක්.


වැල්ලව දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු මුරකරුගේ කුටිය.

මෙයත් ඔහොම්ම විශ්‍රාම යාවි. ඒත් කරපු සේවයට බොහොම ස්තුතියි.


මේ කතාව නිසා දෑවැද්දේ කතාව අමතක වෙනවා තව පොඩ්ඩෙන්.


ලංකාවේ සමහර ගම්මාන තියෙනවා ටිකක් අමුතු විදිහේ නම් තියෙන. ඒ සමහර නම් අපේ ජීවිතේට අහලත් නෑ. කොටින්ම කීවොත් එහෙම දෙයක් තියෙනවා කියලා විශ්වාස කරන්නත් බෑ පිළිගන්න පුළුවන් සාක්ෂියක් හමුවෙනකම්ම.


කීවට විශ්වාස කරන්න ඉතින්, ඔය කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළේ තියෙනවා දෑවැද්ද කියලා පොඩි ගමක්. මේ ගමට ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් නැති බව තමයි ආරංචි වුණේ. ගමේ උදවියට තියෙන බයිසිකල්, ත්‍රිවීල් සහ වෙනත් කුඩා පරිමාණයේ වාහන ඇරෙන්නට තියෙන එකම පොදු ප්‍රවාහන මාධ්‍යය වෙන්නේ කෝච්චිය විතරයි. හැබැයි කෝච්චිය නවත්වන්න දුම්රිය ස්ථානයක් මේ ගමට නෑ. තියෙන්නේ කුඩා දුම්රිය වේදිකාවක් විතරයි. එතැනින් ටිකට් දෙන්නෙත් නෑ. ඒ වගේම කිසිම සීග්‍රගාමී දුම්රියක් එතැන නවත්වන්නෙත් නෑ. 

දෑවැද්ද දුම්රිය නැවතුම්පෙළේ නාම පුවරුව.

මේ පොටෝව මුහුණු පොතෙන් ගත්ත එකක්.

මහව සහ කුරුණෑගල අතර ධාවනය කරන කුඩා දුම්රිය (ඒ පැත්තේ අයගේ භාෂාවෙන් කීවොත් මහව බේබිය, එහෙමත් නැතිනම් මාහෝ බේබිය, බේබි කෝච්චිය) විතරයි මෙතැන නවත්වන්නේ මඟී අවශ්‍යතා වෙනුවෙන්. 2019 අඟ භාගය වෙනකම්ම වගේ මහව සහ පොල්ගහවෙල අතර ධාවනය වෙච්ච රේල් බස් රථය මෙතැන නැවැත්තුවා. හැබැයි කොවිඩ්වලින් පස්සේ ඒක තාම ධාවනය වුණේ නෑ. මේ නිසා අපහසුතාවයට පත්වෙලා තියෙන්නෙත් අවට ගම්මානවල මිනිස්සුම තමයි. මොකද ඉතින් මහව පැත්තට යන්න උදේ කාලයේ තිබ්බ පළවෙනි ගමන්වාරය වුණෙත් ඔය රේල් බස් එක නිසා. කොහොමින් කොහොම වෙතත් ඉතාමත් ඉක්මණින්ම මේ රේල් බස් එක ආපහු ධාවනයට එකතු වෙනවා කියලා පොඩි කසුකුසුවක් යනවා මේ වෙද්දී. වැඩේ වුණොත් කාටත් හොදයි ඉතින්.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

යාවත්කාලීන කිරීම (2022.08.12)

ඔන්න ඉතින් කීවත් වගේ පෝස්ටුව ජාලගත කරලා පැය 24ක් ගියේ නෑ පහුවෙච්ච අගෝස්තු 08 වැනිදා ඉදන් පොල්ගහවෙල - මහව රේල් බස් රථය නැවත ධාවනයට එකතු කරලා තියෙනවා.

🚧 පොල්ගහවෙලින් පිටත්වීම (දිනපතා)    -    පෙ.ව. 6.15    (ධාවන අංක 4448)

🚧 මහවෙන් පිටත්වීම (දිනපතා)                -    ප.ව. 1.45       (ධාවන අංක 4858)

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

දැන් ආපහු මාතෘකාවට එමු.


වඩාත් විශේෂම කාරණය වෙන්නේ ඔය දෑවැද්ද දුම්රිය නැවතුම්පොළේ ටිකට් දෙන්න කවුන්ටරයක් නෑ. ඒ නිසා ඔතැනින් දුම්රියට ගොඩවෙන මඟියෙක් අදාළ දුම්රියේ නියාමක මහත්තයා හමුවෙලා තමන්ගේ ගමනාන්තයට අදාළ මුදල ගෙවලා ටිකට් එකක් ගන්න ඕන. හැබැයි එහෙම ටිකට් දෙන්නෙත් මහව සහ කුරුණෑගල අතරට විතරයි. එතැනින් එහාට ටිකට් ගන්න වෙන්නේ මහව හෝ කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් බැහැලා තමයි. මේ විදිහට දෙන ටිකට් එක සාමාන්‍ය කාඩ්බෝඩ් කෝච්චි ටිකට් එකක් නෙමෙයි. ඊට වඩා ටිකක් දිගයි. හරියට ඉස්සර දුන්නු බස් ටිකට් වගේ. මේකට කට්ටිය ගොඩක් වෙලාවට කියන්නේ ගාඩ් ටිකට් එක කියලා. අපි සාමාන්‍යෙයන් දකින කාඩ්බෝඩ් කෝච්චි ටිකට් එක මේ වගේ කුඩා දුම්රිය නැවතුම්පොළවල් වෙනුවෙන් නිකුත් නොවන තරම්.


මහව බේබි ටිකට් එක.

මේ ටිකට් එකේ මහව සහ කුරුණෑගල අතර තියෙන සියලුම දුම්රිය ස්ථාන සහ නැවතුම්පොළවල නම් තියෙනවා.

කොහොම වුණත් ගියපු ගමනේ වැඩටික කරගෙන ඉවරවෙලා ආපහු කොළඹ එන්න හිතාගෙන වැල්ලව දුම්රිය ස්ථානයට ආපු වෙලාවේ නිකමට වගේ ඔය දුම්රිය නැවතුම්පොළවල් ගැන ඒ කාර්ය මණ්ඩලයෙන් අහලා බැලුවා. එතකොට මට කියපි දෑවැද්ද ට සාමාන්‍ය කාඩ්බෝඩ් කෝච්චි ටිකට් එකක් එයාලා ගාව තියෙනවා කියලා. මාවත් ටිකක් පුදුම වුණා ඒක අහලා. පස්සේ බැලින්නම් සිද්ධිය ඇත්ත. එහෙම ටිකට් එකක් තියෙනවා. අපේ උදවියට එහෙම ගමක් ගැන අහන එකත් නුහුරු නුපුරුදු දෙයයක් වෙන නිසාම ටිකට් එකක් අරගත්තා ඉතින්. එක්තරා ආකාරයකට ඒ මටත් අපූරු සිහිවටනයක් වුණා. 

දෑවැද්ද ලැබුණා.

මඩකළපුව සිට එන අංක 6012 දරණ උදය දේවි දුම්රිය වැල්ලව අංක 2 වේදිකාවේ දී.

ඕකේ තමයි ආපහු ගෙදර ආවේ.


ඔන්න ඔහොම තමයි මිත්‍රවරුනි මට දෑවැද්ද ලැබුණේ.

Saturday 30 April 2022

ලව් කපල් එහාට කිරීම.

 


 


පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානය - මහනුවරට මුහුණලා.


ඔක්කෝටම කලින් හැම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියන්න කැමතියි. මොකද ඉතින් 2022 සිංහල හින්දු අලුත් අවුරුද්දට පස්සේ බ්ලොග් එකට ලියන පළවෙනි පෝස්ටුව මේක වෙන නිසා.

මේ දවස්වල ඉතින් රටේ පවතින වාතාවරණය එක්ක ආයෙමත් ජීවිතයේ ගොඩක් දේවල් රිවස් එකට යන්න පටන් අරගෙන තියෙන විත්තිය නම් කාටත් තේරෙනවා ඇති. විශේෂයෙන්ම අධ්‍යාපනය තමන්ගේ ජීවිතයේ ඉදිරි ගමන් මාර්ගය විදිහට තෝරාගත්ත අයට නම් සෑහෙන්න අහේනි කාලයක් තමයි උදාවෙලා තියෙන්නේ 2019 න් පස්සේ මේ වෙනකම්ම. ඒ විතරක් යැ ගෑස් ප්‍රශ්න, තෙල් ප්‍රශ්න වගේම ජීවන වියදම ඉහල යාමත් එක්ක මිනිස්සු සෑහෙන්න පීඩනයකට තමයි මැදි වෙලා ඉන්නේ. ඒ පීඩනය මේ දවස්වල එක එක විදිහට පිටදානවා. මිනිස්සුත් සෑහෙන්න අසරණයි. ඔන්න ඔය නිසා එදිනෙදා වැඩකටයුතු කරගෙන යද්දී කවුරු කවුරුත් එලැඹිසිටි සිහියෙන් කටයුතු කිරීම නම් මනාවයි.

මෙදා පාර බ්ලොග් පෝස්ටුවෙන් කියන්න ලෑස්ති වුණේ වෙනස් කතාවක්. එකපාරටම කතාවට එනවට වඩා පොඩ්ඩක් රට තොටේ ඇවිදලා ඇවිත් කීවොත් හොදයි කියලා හිතුණු නිසා තමයි අර උඩ පොඩි සටහන දැම්මේ. මේක අවුරුද්දකට විතර කලින් හරියටම කීවොත් 2021 අවුරුද්දේ අවසාන කාර්තුවේ දී මම කරපු පොඩි වැඩක්.

මට ඕක මතක් වුණේ. ඊයේ (30) දවසේ මුහුණු පොතේ සැරිසරන අතරේ දී තිබ්බ එක්තරා වීඩියෝ දෙකක් දැකලා. එකක් පිටරට එකක්. චතුෂි අක්කා තමයි ඒක ෂෙයාර් කරලා තිබ්බේ. යම් විදේශ රටක තියෙන Fashion Show එකකදී අත් අල්ලගෙන යනවා පොඩි පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයෙකුයි අත් අල්ලගෙන. එහෙම දෙන්නා වේදිකාවේ අන්තයට ගිහින් එන අතරේ දී එහා පැත්තෙන් එනවා පොඩි කොල්ලෙක් අර විදිහටම තනියම. මේ කොල්ලා අර අත් අල්ලගෙන එන දෙන්නට යන්න ඉඩ දෙන්නේ නැතුව ඒ දෙන්නා මැදින් යනවා. ඒ නිසා අර කොල්ලට කෙල්ලව අතහැරෙනවා. දෙන්න මැදින් ගියපු පිරිමි ළමයට හිනා යනවා සිද්ධියට.

දෙවැනි වීඩියෝ එක පවුල කනවා” කියන මාතෘකාවෙන් තිලක් සර් ෂෙයාර් කරලා තිබ්බ එකක්.

ඒ වීඩියෝ දෙක දැක්කම මම කරපු පොඩි වැඩක් මතක් වුණා. මේ ඒක ගැන.

මට ඉන්නවානේ මහා වදයක් වෙච්ච ඥාති සහෝදරියක් (මගේ ලොකු නෑනා පොඩ්ඩ). එයාගේ දත් සෙට් එක තරමක් ඇදයට පිහිටලා තියෙන්නේ. දත් ටිකෙන් ටික ඉස්සරහට එනවා. ඔය සිද්ධිය නිසා දන්ත වෛද්‍ය උපදෙස් පරිදි කම්බි වැටක් ගහලා දත් සෙට් එක මෙල්ල කරන්න අවසානයේ දී තීරණය වුණා.

නෑනා පොඩ්ඩ ඉන්නේ පුලනරිවල. එහේ ඩොක්ටර් කෙනෙක් තමයි වැඩේට තෝරගත්තේ ඉතින්. හැබැයි මොකක්දෝ හේතුවක් නිසා ඒ ඩොක්ටර් පේරාදෙණිය ට මාරුවක් අරගෙන ඇවිල්ලා දවස් කිහිපයකින්. දැන් ඉතින් අදාළ වෛද්‍යවරයා නැතිව වෙනත් වෛද්‍යවරයෙක් මාර්ගයෙන් වැඩේ කරගන්න අපේ නෑනා පොඩ්ඩ අකමැති වෙච්ච නිසා තකහනියෙම ඩොක්ටර් හොයාගෙන පේරාදෙණිය යන්න තමයි තීරණය වුණේ.

ගමන යන්න කලින් නෑනා පොඩ්ඩ අපේ ගෙදර ඇවිත් පහුවදා උදේ 5.55 පොඩි මැණිකේ කෝච්චියේ පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානය දක්වා ගියා. එයාට තනියම යන්න බැරි දෝෂයක් (තනි කන් දෝෂය) තියෙන නිසා මට තමයි කැන්දගෙන යන්න වුණේ. පේරාදෙණිය ටවුමට ගිහින් ඩොක්ටර්ට කෝල් කරද්දී කියපි එයා ඉන්නේ වැලිගල්ලේ කියලා. වාසනාවට එතුමී ඇවිත් අපිව එක්කගෙන ගියා ඉතින්. ඒ නිසා ජාමේ බේරුණා. දත් සෙට් එකේ වැඩෙත් කරගෙන ආයේ ආවේ නම් බස් එකේ. ඒ පේරාදෙණිය ටවුමට එනකම්.


පේරාදෙණිය යකා පාලම ගාවට පේන පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානය සහ සංඥා කුළුණු.
ඔතනින් කෙලින් ගියොත්  කොළඹ කොටුවට. වමට හැරෙව්වොත් බදුල්ලට. මම පොටෝව ගන්නේ නුවර පැත්තේ ඉදන්.

මට සෑහෙන්න කාලයක ඉඳන් ලොකු ආසාවක් තිබුණා පේරාදෙණිය කෝච්චි පාලමේ (කළු පාලම/ යකා පාලම) පොටෝවක් ගන්න. ඒ වැඩේ කරගන්නත් ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයක් කරගත්තා. ඒ නිසා වැලිගල්ල ඉදන් පේරාදෙණියට බස් එකේ ඇවිත් ආපහු කිලෝමීටර් එකක් (1) වගේ පහලට ඇවිදගෙන ආවා නෑනා එක්ක. අර උඩින් කීව යකා පාලම ගාවට.

ඔන්න ඔතන තමයි රස කතාව තියෙන්නේ.

පාලමේ පොටෝව ගන්න යද්දී ලව් කපල් එකක් එතැන. ඒ කීවේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි එතැන. සෑහෙන්න මුකුලුව. ඔතනට මමයි, අපේ ලොකු නෑනයි ගියේ උදේ 11.00 ට වගේ. ආපහු පේරාදෙණිය හන්දිය ස්ටේෂන් එකට යන්නත් ඕන අංක 1016 උඩරට මැණිකේ කෝච්චිය අල්ල ගන්න. ඒක පේරාදෙණිය හන්දිය ස්ටේෂන් එකට එන්නේ දවල් 12.30 වගේ වෙද්දී. අර ලව් කපල් එක නිසා මගේ හීනය වෙච්ච පේරාදෙණිය යකා පාලමේ පොටෝව ගන්න එක සෑහෙන්න ප්‍රමාද වුණා. කොටින්ම කීවොත් මම පැය භාගයක් විතර ඉවසුවා. අර ඩබල යන පාටක් නෑ. පොඩ්ඩක් පාලම ගාවින් එහාට වෙන අදහසකුත් නෑ. බැරිම තැන අවම බලය පාවිච්චි කරන්න සිද්ධ වුණා අකමැත්තෙන් වුණත්.

ඉවසීමේ සීමාව පැන්න නිසා ස් .. .. ස් .. .. නංගී, චුට්ටක් එහාට වෙන්න මට පාලමේ පොටෝවක් ගන්න කියලා එතැන හිටපු ගැහැණු ළමයට කීවා. ඒ වෙලාවේ අර කොල්ලා මට කඨාක්ෂ බැල්මකුත් දැම්මා. සමහර විට ඒ උදවියගේ පෙම් ලෝකයට බාධා කරපු නිසා වෙන්න ඇති. ඒත් කරන්න දෙයක් නැහැ. පොදු දේපළ අවභාවිතා කරන්න දෙන්න බැහැනේ .......


මහවැලි ගංගාව හරහා ඉඳිකරපු දුම්රිය පාලම.
1867 තරම් ඈත කාලයේ හදපු මේ පේරාදෙණිය දුම්රිය පාලම හදුන්වන්න යකා පාලම, කළු පාලම කියන නම් දෙකත් පාවිච්චි කරනවා. 

ඔතන වම් පැත්තේ පාලමේ ආරුක්කුව පටන් ගන්න තැන තමයි සිද්ධියට මුල් වෙච්ච ජෝඩුව හිටියේ.

ඔය විදිහට පාලමේ පොටෝව අරගෙන පේරාදෙණිය හන්දිය ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන එද්දී ලොකු නෑනා මට බැන්නා, අහිංසක පවුල් කඩන්න එපා කියලා. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවේ, ඒ දෙන්නට පවුල් වෙන්න අත්සන් කළේ ඔයාද ? කියලා විතරයි. ප්‍රශ්නය විසදුණා. ආයේ ඔය ගැන කතා කරේ නෑ මාත් එක්ක. 

අන්තිමට පාලමේ පොටෝවකුත් ගත්තා. පේරාදෙණිය හන්දිය ස්ටේෂන් එකට ඇවිල්ලා උඩරට මැණීකේ කෝච්චියේ නුවරටත් ආවා. එතැනින් හවස 3 කොළඹ කොටුව නගරාන්තරේ ගෙදර එන්න තමයි තිබ්බේ. සෑහෙන්න වෙලාවක් තිබ්බ නිසා දවල්ටත් කාලා ආයේ ස්ටේෂම පැත්තට ඇවිත් වාඩිවෙලා ඉන්නකොට පොඩි වස්තුවක් අහම්බෙන් වගේ ලැබුණා. ඒ තමයි මහනුවර දුම්රිය ස්ථානයේ 150 වැනි සංවත්සරයට 2017 අවුරුද්දේ දී නිකුත් කරපු සමරු කලාපය.

 


මහනුවර දුම්රිය ස්ථානයේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු සමරු කලාපය.


ඔන්න ඔය විදිහට තමයි එදා දවසේ ලව් කපල් එහාට කළේ.

පොතක් ගැන යමක්.

සෑහෙන්න කාලයකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ ඉතින් ඔන්න. මෙදා සැරේ පරණ අවුරුදු තොරතුරුයි අලුත් අවුරුදු සුබ පැතුමයි නැතුව කෙලින්ම පොතක් ගැන පෝස්...