Tuesday, 24 December 2024

හැල හැප්පීම්, කඩා වැටීම් සමඟ ජයග්‍රහණ ද සමඟ තවත් වසරක අවසානයක්.

කලින්ම කීවා ඔන්න....... මේ පෝස්ටුව සමහරවිට දිග වැඩිවෙන්න පුළුවන්.

එකසිය විස්සට දෙසිය විස්සක්ම ආයුබෝවේවා හැමෝටම!!!

මුලින් හිතාගෙන හිටියේ 2024 අවුරුද්දේ දී නම් අඩුම තරමින් මාසයකට වතාවක්වත් බ්ලොග් ලිපියක් ලියනවා කියලා වුණාට නොහිතපු විදිහේ ප්‍රශ්න අටෝරාසියක්ම ආපු නිසා ඒ බලාපොරොත්තුව උපන්ගෙයිම මියැදිලා ගියා. තත්වය කොච්චර දරුණුයි ද කීවොත් මිත්‍රවරුනි, මේකත් එක්ක 2024 අවුරුද්දටම පෝස්ට් දෙකයි.

ඇත්තම කීවොත් ඉතින් ගෙවීගෙන යන 2024 අවුරුද්දේ යහතින් හිටියේ ජනවාරි මාසයේ දී විතරයි. අවුරුද්ද පටන් ගත්තේ බොහොම සුබ සිදුවීමකින්. ඒ මොකක්ද කීවොත් අපේ ප්‍රකට ගත්කතුවරයෙක් වගේම පටු අමාන දුම්රිය පිළිබඳව පර්යේෂකයෙකු වෙන රසික වික්‍රමනායක අයියගේ "සබරගමුව දුම්රිය" පොත නිකුත්වීමත් එක්ක. පොතේ පිටපතක් කතුතුමා අතින්ම තිළිණයක් විදිහට මට ලැබුණ එක ලොකු සතුටක් ගෙනාවා. අවුරුද්දේ පළවෙනි පොත ලැබිච්ච අත වාසනාවන්ත නිසාම දෝ කොහේද කොයිතරම් ප්‍රශ්න, බාධක ආවත් මේ අවුරුද්දේ පොතපතින් නම් අඩුවක් වුණේම නෑ. රසික අයියගේ පොත ගැන මම කලින් ලීව බ්ලොග් සටහනට මෙතනින් යන්න පුළුවනි. සිද්ධ වුණු දේවල් ගැන හිතනකොට ඒකත් හිතට සහනයක්. 

රසික අයියාගෙන් පොත ලැබුණු දා

ඊට අමතරව මගේ හිතවතුන් තුන්දෙනෙක් වෙච්ච ගෙහාන් අයියා, අකිල අයියා සහ සුභාෂ් අයියා; ඒ අයත් මේ අවුරුද්දේ මට අවශ්‍ය අලුත් පොත් හොයාගන්න ලොකු උදව්වක් වුණා. ඔය අතරින් ගෙහාන් අයියා ගියපු ගමන්බිමන්වලදී "මල්ලී අලුත් පොතක් තියෙනවා .......... ගැන. ගන්නද ඔයාට" එකක් කියලා කතා කරලාම අහපු අවස්ථා තිබුණා.

ගෙහාන් අයියාගෙන්

අකිල අයියාගෙන්

පෙබරවාරි මාසයේ මැද භාගයේ ඉදන් වෘත්තීමය වශයෙන් දරුණු බිඳවැටීම් කිහිපයක් ඇති වුණත් පුළුවන් මට්ටමින් නැගිටගෙන හිටියා අතාරින්න බැරි නිසාවෙන්ම. ඔය අලකලංචි අස්සේ උසස් අධ්‍යාපන කටයුතුවල අවසාන පරීක්ෂණ තුනක් එකපිටම. ඒ ඩිප්ලෝමා පරීක්ෂණ එකක් සහ උපාධි පරීක්ෂණ දෙකක් විදිහට. මාර්තු මාසයෙන් ආරම්භ වෙච්ච විභාග ටික ඉවර වුණේ හරියටම සැප්තැම්බර් මුල් සතියේ දී. පුළුවන් උපරිමයෙන්ම ඒවාටත් මුහුණ දුන්නා ඉතින්.

අලි මදිවට කොටි කියනවනේ................. බලු තඩියත් ජොලියට අසනීප වුණා.

ලෙඩාදුකා වුණාට දාංගලේ අඩුවක් නෑ මෙයාගේ.

ලොකුම කණාගාටුව බවට පත්වුණේ ආච්චි අම්මගේ අභාවය. අගෝස්තු මාසය ආරම්භයේ ඉදන්ම විටින්විට උත්සන්න වුණ අසනීප තත්වය නිසා අවස්ථා කිහිපයකදී ම රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබපු ආච්චි මේ නොවැම්බර් 10 වැනිදා රෑ අපිව දාලා යන්නම ගියා. ඒ මම උපන් දා සිට ආච්චි අම්මා කෙනෙක්ගෙන් මුණුපුරෙකුට වෙන්න ඕන හැම යුතුකමක්ම ඉෂ්ඨ කළායින් පස්සේ. නැතිවෙන්න මාස තුනකට විතර කලිනුත් මාත් එක්කම හිටපු එයා බලා ඉද්දීම අඩපණ වුණේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මනුස්ස ජීවිතයේ අනියත බව වගේම ජරාජීර්ණ බව හොදින්ම පැහැදිලි කරන ගමන්. 

උතුම් වූ නිවනින් නිවී සැනසෙන්න ආච්චි අම්මේ!!!
ඡායාරූප අනුග්‍රහය - අසල්වාසියෙක් වෙච්ච ප්‍රියන්ත මාමාගෙන්

ඒ මදිවට ද කොහේද හිතන්නේවත් නැති වෙලාවක අම්මාගේ අතේ සහ කකුලක රෑෂ් හතරක්ම එනවා. තාත්තා මහ පාන්දර වෙව්ලන්න උණ අරගෙන තද කැස්සකුත් එක්ක වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යන්න වුණේ ආච්චිගේ අවසාන මොහොතේ දී. තාමත් හිතාගන්න බෑ මේ අවුරුද්ද මොන වගේ අවුරුද්දක් ද කියලා ......... 

ආච්චි අම්මගේ හත්දවසේ දානය ඉවර වෙනවාත් එක්කම මගේ පළවෙනි උපාධියේ ප්‍රථිපල නිකුත් වුණා. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි; බලාපොරොත්තු වුණාටත් වැඩිය ප්‍රථිපල හොදයි. පළවෙනි උපාධිය අති සාර්ථකව අවසාන කළා ඉතින්. හැබැයි දුකයි. මොකද කීවොතින්, මේ උපාධිය ගන්නකන් මටත් වඩා කොටින්ම මගේ අම්මා සහ තාත්තාටත් වඩා ආසාවෙන් බලාගෙන හිටපු කෙනෙක් හිටියා. ඒ මගේ ආච්චි අම්මා. හැබැයි බලාපොරොත්තුව ඉෂ්ඨ වෙනකොට එයා මේ ලෝකයේ නැහැ.

දෙවැනි ඩිප්ලෝමාවත් සාර්ථකව අවසාන කළා.

අවසානයේ දී එය මෙසේ නිමවිය.

කොහොමින් කොහොම වුණත් හැම ප්‍රශ්නයක දී ම අතාරින්නේ නැතුව හිටපු යාලුවෝ ටිකක් හිටියා පුළුන් වුණු හැම වෙලාවකම කතා කරලා වෙන්න ඕන මොනවද කියලා හොයලා බලපු, අසල්වාසීන් ටිකක් හිටියා ගෙදරටම ඇවිත් සුවදුක් අහපු. විශේෂයෙන්ම තාත්තාගේ අසනීපය වෙලාවේ මහ පාන්දරම නින්දෙන් නැගිටලා ඇවිත් අපේ අසල්වාසියෙක් වුණු ප්‍රියන්ත මාමා සහ කළ්‍යාණි නැන්දා දුන්නු උදව්ව අමතක කරන්නම බැහැ. අනෙක් උදවියව නාමිකව නොකීවත් ඒ හැම දෙනාටම අනේක වාරයක් පින් ඒ හැම දෙයක් වෙනුවෙන්ම.

මගේ පළවෙනි පොතේ තොරතුරු ඇතුළත් කිරීම් කටයුතු අවසාන කරලා පළවෙනි සෝදුපත් පරීක්ෂාවට යවන්න පුළුවන් වුණා. ඒ වගේම පෙරවදන සහ පසුවදන ලියන්නත් යැව්වා. වෙච්චි දේවල් හැටියට ඒ වැඩ ටිකත් මේ අවුරුද්දේ ඉවර කරගන්න පුළුවන් වුණු එකම ලොකු දෙයක්. 2025 දිහාට කට්ටියටම කියවන්න පොත දෙන්න බලන්නම් කොහොමහරි. එතකන් ඉවසගෙන ඉන්න ඉතින්.

Editing....

පොත ගැන වදනක් කැළණියෙන්

අහ්..... ආයේ අමුතුවෙන් අහන්න එපා. ඒක කෝච්චි පොතක්. ඒ ගැන වැඩි විස්තර ගන්න "මෙතනින්" ගිහින් FB පිටුව ලයික් කරලා තියාගන්න දැන්ම.

මේ සිද්ධ වෙච්චි අලකලංචි අස්සේ හිතට පොඩි නිදහසක් දෙන්න දෙන්න අවස්ථාවකුත් ලැබුණා මම උගන්වන යුනික් අධ්‍යාපන ආයතනයට පින් සිද්ධ වෙන්න. ඒ, එයාලගේ වාර්ෂික අධ්‍යාපන චාරිකාවකට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබීමත් එක්ක. චාරිකාව 8, 9 සහ උසස් පෙළ ශ්‍රේණිවල ඉගෙනගන්න ළමයි එක්ක බදුල්ල, ඇල්ල සහ නුවරඑළිය අවට. මම වැඩකට සෙට් වුණොත් කොනක හරි කෝච්චියක් ගෑවිලා තියෙනවනේ..... ඔන්න ඉතින් මේ චාරිකාවත් ඒ වගේ. පටන්ගත්තේ බදුල්ල දුම්රිය හැරවුම් මේසය බලලා. ඊට පස්සේ බදුල්ල ඉදන් දෙමෝදරට එනකම් ළමයි ටිකත් එක්ක කෝච්චියේ. දෙමෝදර රේල් ගැටයත් බලලා, තව තැන් දෙකතුනක්ම බලාගෙනයි ආයේ කොළඹ ආවේ. හරිම සතුටු හිතෙන අපූරු අත්දැකීම් වගේම මතක හිටින සිදුවීම් ගොඩක් එක්ක චාරිකාව සාර්ථකව අවසාන කරන්න පුළුවන් වුණා.

බදුල්ල දුම්රිය හැරවුම් මේසය ගාව දී

අංක 1008 කෝච්චියේ බදුල්ලෙන් දෙමෝදරට එන අපි

රාවණා ඇල්ල

හග්ගල දී

යුනික් අපි හග්ගල දී
ඡායාරූප අනුග්‍රහය - ශ්‍යාමලී මිස්ගෙන් (පළවෙනි පේළියේ වම් කෙළවරේම ඉන්න කළු දැරිවි)
මමතුමාට පිටිපස්සෙන් ඉන්න රැවුල වවපු කෙනා පැතුම් සර්.

වෙච්චි දේවල් නිසා මගේ සංචාරක ජීවිතය නම් වැඩිය සාර්ථක නෑ 2024 අවුරුද්දේ. ගියපු එක ගමනක් වුණේ අර උඩින් කීව බදුල්ල චාරිකාව පන්තියේ ළමයි එක්ක. ඒ හැරෙන්න කුරුණෑගල සහ මහනුවර දක්වා චාරිකා දෙකක් ගියා. 

ඔය අතරින් අවුරුද්දේ මැද හරියේ දී යාන්තමින් යාගත්ත කුරුණෑගල ගමන ගැන කතා කළොත්, ගියේ කෝච්චිවල පොටෝ ගන්න වුණාට අන්තිමට ඇතුගල කන්ද මුදුනටම ගිහින් එන්න අවස්ථාව ලැබුණා අපේ ඉසුරු අයියට පින් සිද්ධ වෙන්න.

ඇතුගල කන්ද මුදුනට පේන කුරුණෑගල නගරය

ඇතුගල බුදු සමිදු රුවට මගේ සිරස නැමෙනවා....

"මඟීන් කරුණාවෙන් සවන්දෙන්න; මේ කුරුණෑගල දුම්රිය ස්ථානයයි.
තුන්වැනි වේදිකාවේ නවත්වා ඇති මන්දගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් මරදාන සහ කොළඹ කොටුව දක්වා පිටත්වේ. දුම්රිය මරදාන සහ කොළඹ කොටුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත."

අපරාදේ කියන්න බෑ මහනුවර ගමනේ දී අක්කාපාන එයාගේ දෙවැනි ජංගම දුරකථනයත් හොරෙකුට පූජා කරලා ආවා. පළවෙනි ජංගම දුරකථනයට වුණෙත් ඔය සන්තෑසියමයි.

උතුම් දළඳා සමිදු සරණයි.

පෞද්ගලික සහ වෘත්තීමය ජීවිතයේ ගලාගෙන යාම ඔහොම වෙනකොට රටක් විදිහට අපිට වැදගත් වෙන්නේ රටේ දේශපාලනය. අමුතුවෙන් කියන්න ඕන නෑනේ...... 2024 කියන්නේ මැතිවරණ අවුරුද්දක්. 2025ත් මැතිවරණ අවුරුද්දක් කියලා තැන් කිහිපයකම තිබුණා දැක්කා. ඕවයේ ඇත්ත නැත්ත මම දන්නෑ ඉතින් බලාගෙන ඉමු.

ආර්ථික වශයෙන් නම්, මමතුමා හොම්බෙන් ගිය නැති ටික විතරයි. කොටින්ම හොම්බ බිම නොවැදී හිටියෙත් සෑහෙන්න අමාරුවෙන්. අනිත් අයත් එහෙම වෙන්න ඇතිය කියලා විශ්වාස කරනවා.

ඒ පැත්ත බැලුවා........ , ආයේ මේ පැත්ත බැලුවා............ "හොක්" ගාලා 2024 ඉවර වුණා.

දැන් 2025ටත් ළඟයි.

ලබන්නා වූ 2025 නව වසර මේ පෝස්ටුව කියවූ ඔබටත්, කියවන්න ඉන්න සැමටත්, නොකියවූ රටවාසී සහ ලෝකවාසී සැමදෙනාටත් නිදුක් නීරෝඟිමත් සුබම සුබ නව වසරක්ම වේවා!!! 

සතුට, සාමය, යසස පැතිරේවා!!!

ඉක්මනින්ම තවත් පෝස්ටුවකින් හමුවෙමු. ගිහින් එන්නම්.

දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි හැමෝටම!!!


No comments:

Post a Comment

හැල හැප්පීම්, කඩා වැටීම් සමඟ ජයග්‍රහණ ද සමඟ තවත් වසරක අවසානයක්.

කලින්ම කීවා ඔන්න....... මේ පෝස්ටුව සමහරවිට දිග වැඩිවෙන්න පුළුවන්. එකසිය විස්සට දෙසිය විස්සක්ම ආයුබෝවේවා හැමෝටම!!! මුලින් හිතාගෙන හිටියේ 2024...